Thursday, August 17, 2017

12.ආදරණීය වොට්සන් - ජොගින් ජෝගිය


ඉතින් වොට්සන් , ඔයාගේ දකුණු කකුලෙ මාපටැගිල්ලේ නියපොත්තේ තත්ත්වය දැන් කොහොමෙයි? පරීක්ෂණ වැඩ වලට කිය කිය කැලෑ අස්සෙ රිංගද්දි නියපොත්ත එල්ලුනු දිලීර වල හපන්කම තමයි ඔය. එහෙමෙයි කියල ඔයාගේ ඇඟලි දහයම දිලීර අයිතිකර ගත්තත් ඔයා නෙමෙයි කැලෑ ගමන නතර කරන්නේ කියල මම හොඳින්ම දන්නවා. 
ඔයා අද කම්මලේ වැඩ ඉවර වෙලා නවාතැනට යන ගමන් ෆාමසියට ගොඩ වෙලා මැග්නීසියම් සල්පේට් කැට (මැක්සල් ) ටිකක් අරන් ගිහින් වතුර එක්ක පොගවලා පුලුන් කෑල්ලකින් අර වේදනාබර මාපටැගිල්ලට තියල බලන්න.පුලුන් කෑල්ල වේලෙන කොට ආය ආය මැක්සල් වලින් පුලුන් කෑල්ල පොගවන්නත් අමතක කරන්නෙපා. ඔන්න බලන්න ඔය නියපොත්ත ඔතනම හොඳ වෙන්නෙ නැද්ද කියලා.අනික ඉතින් රෑට මගේ මූණත් තහඩුව දැක්කාම ඔය වේදනාව නැති වෙනව කියල නම් මම හොඳින්ම දන්නවා.
ඉතින් වොට්සන් අද හැන්දෑවරුවෙ මම ආපහු අලුතින් ඇවිදින්න පටන් ගත්තා. මේ ගම්කොරේ පැති වල ජොගින් ට්‍රැක් නැති නිසා මහ පාරේ ගිහින් අතුරු පාරක දාලා ඇවිදිනේක තමා කරන්නේ.ඒ වැඩේ කාලයක් කරල මම අතෑරල දැම්මෙ නොයෙක් හේතු නිසා.ඒත් එන්න එන්නම ස්ථුලතාවයට ළං වෙන ශරීරය දිහා බලාන ඉන්න බැරි නිසාත් ඔයා උනත් කැමති බොහොම සිහින් සිරුරක් තියන මේරි කෙනෙක්ට නිසාත් මට ආපහු මේ ඇවිදිල්ල පටන් ගන්න හිතුනා.
ඔන්න ඉතින් බලන්න, ඒ ඇවිදිල්ල හරිම රසවත් කියන්නේ , අනිත් දවසෙ ඇවිදින්න යන්න කලින් අර හොරු දාන ජාතියේ මුහුණු ආවරණයක් පලදින්න තමා මට සිද්ධ වෙන්නේ. 
දන්නවද ඒ ඇයි කියලා.ගෙරින් එළියට බැහැල මීටර් 100ක් යන්න කලින් හමුවුනා මිරිස් මෝලේ අර ලස්සන හාදය. 
“ මොකද මේ අවේලාවේ හදිස්සියෙන් වගේ “ . 
“ නෑමේ ටවුමට යන්න කියලා.ගිහින් එන්නම් මල්ලි “...... තව අඩි කීයද යන්න වුනේ එගොඩහ ගොඩේ කාන්ති , ඕපදූප මල්ල
 “ ඔහෙලට නම් මොකද දැන් ඉතින් නිවාඩු නේ .කොහෙද මේ හැන්දෑ වෙලා යන්නේ “ 
ගෙවල් සීමාවෙන් පයිනෙක නම් ඇත්තටම හරි අමාරු වැඩක්. ඔය ඔක්කමත් අස්සේ අදුරන බල්ලො ඇවිත් වල්ග වන වන මා පස්සෙන් ටික දුරක් එනවා.ප්‍රධාන පාරෙන් එන එකත් පණ යන වැඩක්. 
දූවිලි වලට වඩා වාහන දුම්. ශරීරෙ බර අඩු කර ගන්න ගිහින් වේලාපහ මැරෙන තරමට ඒ දුම විසයි. ඒ නිසා මම වැඩිය කවුරුත් එන්නෙ යන්නෙ නැති අතුරු පාරකට හැරෙව්වා.... 
ඒ පාර තියෙන්නේ අකුරැස්ස නගරය මඟහැර යන්න . අලුතින් හදපු ලස්සන පාර.වෙල් යායක් මැදින් වැටිල තියෙන්නෙ.ඒ වෙල මැද පන්සලකුත් තියනවා.හැබැයි ටවුමට කිට්ටු වෙන හරියෙදි අතෑරපු වෙල් කුණු දාලා පුරවනව. 
ඒ පාරේ හොදක් තියෙන්නෙ වැඩිය තියා කොහෙත්ම වාහන යන්නෑ. හැබැයි තැන තැන මෝටර්බයිසිකල්කාරයෝ නැවතිලා හිටු කියලා මල් කඩනවා.ඉස්සර නම් වලත්ත කොල්ලො පිරිලා හිටපු ඒ පාරේ දැන් නම් සැනසිල්ලේ ඇවිදින්න පුලුවන්....
ඒත් වැඩි දුරක් යන්න වුනේ නෑ. නැවත්තුවා මා ළඟින්ම ත්‍රීවීල් එකක් 
“ ආහ් ඉස්කෝලෙ හාමිනේ මොකද මේ පාරේ පයින්ම. නගින්න මම යන්නෙත් ඒ පැත්තට “ 
“ නෑ නෑ...මම මේ ළඟට යන්නේ.... යාළුවෙක් ගෙ ගෙදර. ඔහෙ යන්න .ඇවිදිනේක ඇඟටත් හොඳයි නේ “ 
ඔයා දන්නවැයි මට එහෙම තුන් රෝද රථ තුනක්ම නතර කරා. ඒ නම් මදැයි. යන්තම් ඇඟට දාඩිය ටිකක් දාගෙන එන්න පටන් ගනිද්දිම , දැනට අවුරුදු දෙකකට කලින් අපෙ ඉස්කෝලෙ වැඩ කරල දැන් වෙන ඉස්කෝලෙක උගන්වන අර හීන්දැරි සුදු උස සර්.... එයැයිතුත් බයිකෙකෙන් ඒ පාරමෙ ඒ වෙලාවෙම ...... උන්දැ එක්ක නම් කතා නොකරම බැරි වුනා.මොකද කියනව නම් මාව දැකල ආපහු හරවන් ඇවිත් තමා කතා ව පටන් ගත්තේ. ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ ඉදල හැම කෙනා ගැනම විස්තර අහල.එයැයිගෙ ඉස්කෝලෙ විස්තර කියලා .සමුගනිද්දි සැලකිය යුතු වෙලාවක් ගත වෙලා.
අනේ වොට්සන් , දැන් ඉතින් ඔයාම කියන්න බලන්න මගේ මේ ඇවිදිල්ලෙ වැඩේ හරියන එකක් ද කියලා. ඒ කෙසේ වෙතත් එමින් ගමන් කඩේට ගොඩ වෙලා , කඩල, සුදු කව්පි, රතු කව්පි , මුං ඇට , ඕට්ස් එක්කම බර කිරන්න තරාදියකුත් අරගෙනමයි ආවේ. අනේ ඒත් බර කීයද කියල නම් අහන්නෙපා.
ඔයා කැමැති ජාතියේ ලස්සන කෙසඟ කෙල්ලක් වෙන්න මට බැරි වුනත් අඩුම තරමේ මගේ BMI එක හදා ගන්න හරි මේ පටන් ගත්ත වැඩේ නම් මම කීයටවත් නරත කරන්නෙ නම් නෑ. ඉතින් වොටසන් ඔබට සුබ රැයක් පතමින් නතර වෙන මම,
ඔබේ ආදරණිය බෝල කෙල්ල
මේරි

3 comments:

  1. කෝ බොලං ෆලෝවරේ..?
    ජයවේවා..!!

    ReplyDelete
  2. මොකක්ද බං මේ බ්ලොග් එක?

    ReplyDelete
  3. ඔයාගෙ බිත්තියෙ එල්ලිලා ඉන්න අයින්ස්ටයින් තුමාම කියන්නෙ ස්කන්ධය ඉතා කුඩා ප්‍රමාණයකත් අතිවිශාල ශක්තියක් ගැබ්වෙලා තියන බව.. ඉතින් මොකටද නිරපරාදෙ ස්කන්ධය අඩුකරගෙන ශක්තිය හීන කර ගන්නෙ...ඊටත් ඔය දුවනකොට බර වැඩිවෙනව මයෙ හිතේ...

    විද්‍යා ආචාර්යතුමියක් ලෙසම ඔබට පැහැදිලි ඇති ආලෝකයේ ප්‍රවේගයට ආසන්න වෙනකොට ස්කන්ධය අනන්තයටම වැඩිවෙනව කියල ඒවත් දැනදැනම දුවන එකනෙ වැඩේ...සමහරවිට බොරු වෙන්නත් ඇති එව්ව..අපේ කාලෙනම් කිව්වෙ ස්කන්ධය අනන්තය දෙසට යනවිට ෆුට්බෝඩ් එක බිම ගෑවෙයි මචන් කියල..

    බොහොම හොඳයි..ඔය කඩල,කවිපි මුන් ඇට වගේ කොයිවත් හොදි හදල ගත්තම පාන් ගෙඩියක් උනත් කන්න ඇහැකි එක හුස්මට..

    ReplyDelete