Follow by Email

Tuesday, August 22, 2017

15. ආදරණිය මේරි - ඔරු පැදිල්ල


ආදරණීය මේරි, 
උඹේ ඇවිදීම නං අපූරුයි. ඒ ගමන් පොටෝ ගහපු එකත් ඊට වඩා අපූරුයි. ඒ යන විදියටම යන්න. කකුල් කැපෙන එක ගැන පරිස්සමින්. 
මොනා උනත් තෙල් හා පිටි අඩුවෙන් කෑම. අමතක කරන්න එපා ඒක. මගේ ඇඟිල්ල නං පැසවලා බං. අද වැඩට ආවට ඇවිදින්න ගියේ අඩුවෙන්. රිදෙන්නෙ නං නෑ, ඒත් වැඩිවෙයි කියල බයට. 
අර උඔ පොටෝ ගහපු වැවේ ඔරු පදින්න බැරිද බං අපිට? මට නං මාර ආසවක් තියේ ඒ වැඩේට. උඔට ඇහැක්ය හබල් ගාන්න? පොල් ගාන්න වගෙ ලේසියි කියන්නෙ. ඇත්ත වෙන්නැති නේ බං. 
කවද්ද අර ලබු කිරිබත් පංගුව එන්නෙ ? දැං දෝසියි , කිරි බතුයි ලොරියක් වත් ලේස්ති කරන්න වෙයි වගේ. එක්කො උඹ එනකොට අරං වරෙන්. කකා ඉන්න බැරිය. 
අදත් ඇවිදින්න යනෝද? දුවන්න එපා ටික ටික වැඩි කර ගනිං වේගය. ඔය ගියපු ගාන හොඳටෝම ඇති. ඒක එහෙමම පවත්ත ගනිං. අදත් ගියොත් පොටො ගනිං, මං හිතුවේ උඹ Cannon කැමරාව ගෙනියනව කියල. 

ආයෙත් හිමීට ලියන්නං. 
පරිස්සමින් පණ.

මම උඹේම
ආදරණිය
වොට්සන්

14.ආදරණීය වොට්සන් - ඇවිදීම


ඉතින් වොට්සන් , ඔයා ගමේ ගිහින් නිසා මට පාළුයි. ඒ උනාට මේ ඇවිදින වැඩේ දැන් නැගලම යනෝ.
පළවෙනි දවෙස මට වෙච්චි ඇබැද්දි නිසා අද මම තෝරා ගත්තේ මාව වැඩිය අඳුරන්නෙ නැති අය ඉන්න පාරක්. ටාගට් එක වුනේ කි.මි පහක් විතරයි. දෙයියනේ කියල ඇවිදන් යද්දි පින්තූර ගන්න තැන් දෙකක නතර වුනා.
ඒ මදිවට ටවුම කිට්ටු කරද්දි “නෙළුම් මලේ “ රැස්වීමකට ආපු සෙනඟකට මැදි වුනා.ඒ සෙනඟ දැක්කාම නම් සතුටක් දැනුන.ඒ මොකද කියනව නම් ඊයේ රැස්වීමට හිටි සෙනඟට වඩා සෙනඟක්.ඒ කියන්නේ , දේශපාලන රැස්වීම් ගැන උනන්දුවක් දක්වන අයත් ඉන්නවා කියල. නැතිව මේ මම නෙළුම් මලට කැමති කියනෙක හෙම නෙමෙයි හරිය.

ඉතින් වොට්සන්... ඇවිදීමේ වැඩේ දී පළවෙනි කි.මීටරය හොඳ වේගෙකින් ගියා. දෙවෙනි කිලෝ මීටරය අන්තිම හරියෙ වෙද්දි දාඩිය දාන්න පටන් ගත්තා. තුන්වෙනි කිලෝමීටරය සතුටින් ඇවිද්දත් හතර සහ පස්වෙනි කිලෝමීටර් වල දි වේගය අඩු වුනා.කකුල් දෙකේම දිය පට්ට මතු වෙන්න ගත්තා.ඒ උනාට මම නොසැලී ඉදිරියටම ගියා. 
ඒක නෙමේ වොට්සන් , මම පාවිච්චි කරපු ඇප් එකේ “පාර “ විදිහට පෙන්නුවේ නම් මම ඇවිදපු පාරට සමාන්තව තිබ්බ වෙනත් පාරක්. ඒ ඇයි ? ඔයා දන්නවැයි ඒකට හේතුව.අනේ මට නම් තේරෙන්නෑ. ඒත් ඉතින් කිලෝ මීටර් ගාන වත් හරි ඇති කියල හිත හදා ගත්තා.....
ඔක්කොමත් හරි කියමු කෝ. මේ ඇවිදිල්ලෙ වැඩේ නිසා ගෙදර එද්දි හැන්දෑ වෙලා තිබ්බා. මම ගෙදර එනකම් ගේ දොරකඩ මඟ බලා හිටපු අපෙ නංගි ගෙ කොලු පැටියා.මාව දැක්ක ගමන් සතුටින් පිළිගත්තේ ඒ වෙනකම් අත පිටිපස්සට කරල හංගන් හිටපු “එළවළු රොටිය “ මා දිහාට දික්කරන ගමන්.
“ ඔයා එනකම් මම බලන් හිටියේ.............මේක ඔයාට ආහ් කන්න ඉතින් “කොල්ලගේ හිත රිදවන්න බැරි කමට තෙල් තැවරුම තාමත් බේරෙන එළවලු රොටිය අතට ගත්ත මට කොල්ල ගැන සතුටකුත් මා ගැන දුකකුත් දැනුනා.
ඉතින් වොට්සන් සඳුද ඉක්මනට උදා වෙන්න කියලා පතමින් නවතින මම,
ඔබට හැමදාමත් ආදරය කරන
මේරී

ප:ලි - බය වෙන්නෙපා කොල්ලගෙ හිත රිවන්න බැරිකමට ගත්ත එළවලු රොටිය. කාටත් හොරෙන් ..................මම කෑවද ? නෑ නෑ.... කුණු බාස්කට් එකේ යටටම දැම්මා.............ඔය තියෙන්නෙ මඟ දි අල්ලපු පින්තූර දෙකෙන් එකක්....හොඳම කෝණෙ හොය හොය කාලෙ නාස්ති කරන්න වෙලාවක් නැති නිසා. ෆෝන් එක අල්ලපු ගමන් ක්ලික් කරන් ආවා...

Friday, August 18, 2017

13. ආදරණීය මේරි - කාර්ය බහුල සති අන්තය ට පෙර

උඹේ විස්තර ලැබුනා. ස්තුති. මං ඉතිං වැඩ අස්සෙම හොඳට විවේකයක් ගත්තා තණ නිල්ලෙ. ආස්යන්තරා හිටන් දැක්කා බං. වලාකුල් නටන හැටි, හඳ පායන්ඩ ඉඩ හදාගෙන ඉර නැතිවෙන හැටි; ඔක්කොම.

කකුල නං රිදේ තාම, ඒක පැසවලා තියේ. අද බෙහෙත් ගන්න ඕනි. 

ඉතිං උඹේ ඇවිදීම නං හොඳා. ඔහොම හැමෝ එක්කම ඉඳලා චන්දෙ ඉල්ලන්න වත් බැරිය.
ඒ හිංදා ගමේ ඇවිදලා ප්‍රශ්න හොයාගෙන, උත්තරත් හොයාගෙන ගියොත් Land Rover නෙවෙයි Range Rover එකක් ගන්න බැරිය.
BMI ගැන හිතන් නැතුව ඇවිදපන්. එක දිගට අඩු ගානෙ පැයක් වත්. එතකොට ඒ ප්‍රමානෙ ඇති. ටිකෙන් ටික වේ ගෙ වැඩි කර ගත්තම ඉබේම හරියයි.
උඹ ගමේ ඈයො එක්ක වොට්සන් ගෙ විස්තර කියන්නෙ නෑ නේද. එහෙම උනොත් මට පරීක්ෂණ වැඩිවෙයි. ඒත් ඉතිං නොමිලේ නවාතැන් දෙනව නං එන්නම්. ආය ඉතිං මොකද උඔ හම්බෙනව නං. මටත් බැරියැ වෙල මැද්දෑවෙ පාරෙන් ඇවිදන් යන්න. ගමටම පේන්න.
අතිං අල්ලගෙන යනවද එතකොට වත් මැණික.
ඉතිං ආයෙත් උඹව බලන්න වෙන්නෙ සඳුද තමා. ඉරිදත් තව පරීක්ෂණ වගයක් තියේ කොළඹ පැත්තෙ, හෙට නම් උඹ විභාග වැඩනෙ. පරිස්සමින් හිටපන් පණ.
ආයෙත් ලියන තුරා නවතිමි.

මේ උඹේ කරදර කාර වොට්සන් මයැ.

Thursday, August 17, 2017

12.ආදරණීය වොට්සන් - ජොගින් ජෝගිය


ඉතින් වොට්සන් , ඔයාගේ දකුණු කකුලෙ මාපටැගිල්ලේ නියපොත්තේ තත්ත්වය දැන් කොහොමෙයි? පරීක්ෂණ වැඩ වලට කිය කිය කැලෑ අස්සෙ රිංගද්දි නියපොත්ත එල්ලුනු දිලීර වල හපන්කම තමයි ඔය. එහෙමෙයි කියල ඔයාගේ ඇඟලි දහයම දිලීර අයිතිකර ගත්තත් ඔයා නෙමෙයි කැලෑ ගමන නතර කරන්නේ කියල මම හොඳින්ම දන්නවා. 
ඔයා අද කම්මලේ වැඩ ඉවර වෙලා නවාතැනට යන ගමන් ෆාමසියට ගොඩ වෙලා මැග්නීසියම් සල්පේට් කැට (මැක්සල් ) ටිකක් අරන් ගිහින් වතුර එක්ක පොගවලා පුලුන් කෑල්ලකින් අර වේදනාබර මාපටැගිල්ලට තියල බලන්න.පුලුන් කෑල්ල වේලෙන කොට ආය ආය මැක්සල් වලින් පුලුන් කෑල්ල පොගවන්නත් අමතක කරන්නෙපා. ඔන්න බලන්න ඔය නියපොත්ත ඔතනම හොඳ වෙන්නෙ නැද්ද කියලා.අනික ඉතින් රෑට මගේ මූණත් තහඩුව දැක්කාම ඔය වේදනාව නැති වෙනව කියල නම් මම හොඳින්ම දන්නවා.
ඉතින් වොට්සන් අද හැන්දෑවරුවෙ මම ආපහු අලුතින් ඇවිදින්න පටන් ගත්තා. මේ ගම්කොරේ පැති වල ජොගින් ට්‍රැක් නැති නිසා මහ පාරේ ගිහින් අතුරු පාරක දාලා ඇවිදිනේක තමා කරන්නේ.ඒ වැඩේ කාලයක් කරල මම අතෑරල දැම්මෙ නොයෙක් හේතු නිසා.ඒත් එන්න එන්නම ස්ථුලතාවයට ළං වෙන ශරීරය දිහා බලාන ඉන්න බැරි නිසාත් ඔයා උනත් කැමති බොහොම සිහින් සිරුරක් තියන මේරි කෙනෙක්ට නිසාත් මට ආපහු මේ ඇවිදිල්ල පටන් ගන්න හිතුනා.
ඔන්න ඉතින් බලන්න, ඒ ඇවිදිල්ල හරිම රසවත් කියන්නේ , අනිත් දවසෙ ඇවිදින්න යන්න කලින් අර හොරු දාන ජාතියේ මුහුණු ආවරණයක් පලදින්න තමා මට සිද්ධ වෙන්නේ. 
දන්නවද ඒ ඇයි කියලා.ගෙරින් එළියට බැහැල මීටර් 100ක් යන්න කලින් හමුවුනා මිරිස් මෝලේ අර ලස්සන හාදය. 
“ මොකද මේ අවේලාවේ හදිස්සියෙන් වගේ “ . 
“ නෑමේ ටවුමට යන්න කියලා.ගිහින් එන්නම් මල්ලි “...... තව අඩි කීයද යන්න වුනේ එගොඩහ ගොඩේ කාන්ති , ඕපදූප මල්ල
 “ ඔහෙලට නම් මොකද දැන් ඉතින් නිවාඩු නේ .කොහෙද මේ හැන්දෑ වෙලා යන්නේ “ 
ගෙවල් සීමාවෙන් පයිනෙක නම් ඇත්තටම හරි අමාරු වැඩක්. ඔය ඔක්කමත් අස්සේ අදුරන බල්ලො ඇවිත් වල්ග වන වන මා පස්සෙන් ටික දුරක් එනවා.ප්‍රධාන පාරෙන් එන එකත් පණ යන වැඩක්. 
දූවිලි වලට වඩා වාහන දුම්. ශරීරෙ බර අඩු කර ගන්න ගිහින් වේලාපහ මැරෙන තරමට ඒ දුම විසයි. ඒ නිසා මම වැඩිය කවුරුත් එන්නෙ යන්නෙ නැති අතුරු පාරකට හැරෙව්වා.... 
ඒ පාර තියෙන්නේ අකුරැස්ස නගරය මඟහැර යන්න . අලුතින් හදපු ලස්සන පාර.වෙල් යායක් මැදින් වැටිල තියෙන්නෙ.ඒ වෙල මැද පන්සලකුත් තියනවා.හැබැයි ටවුමට කිට්ටු වෙන හරියෙදි අතෑරපු වෙල් කුණු දාලා පුරවනව. 
ඒ පාරේ හොදක් තියෙන්නෙ වැඩිය තියා කොහෙත්ම වාහන යන්නෑ. හැබැයි තැන තැන මෝටර්බයිසිකල්කාරයෝ නැවතිලා හිටු කියලා මල් කඩනවා.ඉස්සර නම් වලත්ත කොල්ලො පිරිලා හිටපු ඒ පාරේ දැන් නම් සැනසිල්ලේ ඇවිදින්න පුලුවන්....
ඒත් වැඩි දුරක් යන්න වුනේ නෑ. නැවත්තුවා මා ළඟින්ම ත්‍රීවීල් එකක් 
“ ආහ් ඉස්කෝලෙ හාමිනේ මොකද මේ පාරේ පයින්ම. නගින්න මම යන්නෙත් ඒ පැත්තට “ 
“ නෑ නෑ...මම මේ ළඟට යන්නේ.... යාළුවෙක් ගෙ ගෙදර. ඔහෙ යන්න .ඇවිදිනේක ඇඟටත් හොඳයි නේ “ 
ඔයා දන්නවැයි මට එහෙම තුන් රෝද රථ තුනක්ම නතර කරා. ඒ නම් මදැයි. යන්තම් ඇඟට දාඩිය ටිකක් දාගෙන එන්න පටන් ගනිද්දිම , දැනට අවුරුදු දෙකකට කලින් අපෙ ඉස්කෝලෙ වැඩ කරල දැන් වෙන ඉස්කෝලෙක උගන්වන අර හීන්දැරි සුදු උස සර්.... එයැයිතුත් බයිකෙකෙන් ඒ පාරමෙ ඒ වෙලාවෙම ...... උන්දැ එක්ක නම් කතා නොකරම බැරි වුනා.මොකද කියනව නම් මාව දැකල ආපහු හරවන් ඇවිත් තමා කතා ව පටන් ගත්තේ. ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ ඉදල හැම කෙනා ගැනම විස්තර අහල.එයැයිගෙ ඉස්කෝලෙ විස්තර කියලා .සමුගනිද්දි සැලකිය යුතු වෙලාවක් ගත වෙලා.
අනේ වොට්සන් , දැන් ඉතින් ඔයාම කියන්න බලන්න මගේ මේ ඇවිදිල්ලෙ වැඩේ හරියන එකක් ද කියලා. ඒ කෙසේ වෙතත් එමින් ගමන් කඩේට ගොඩ වෙලා , කඩල, සුදු කව්පි, රතු කව්පි , මුං ඇට , ඕට්ස් එක්කම බර කිරන්න තරාදියකුත් අරගෙනමයි ආවේ. අනේ ඒත් බර කීයද කියල නම් අහන්නෙපා.
ඔයා කැමැති ජාතියේ ලස්සන කෙසඟ කෙල්ලක් වෙන්න මට බැරි වුනත් අඩුම තරමේ මගේ BMI එක හදා ගන්න හරි මේ පටන් ගත්ත වැඩේ නම් මම කීයටවත් නරත කරන්නෙ නම් නෑ. ඉතින් වොටසන් ඔබට සුබ රැයක් පතමින් නතර වෙන මම,
ඔබේ ආදරණිය බෝල කෙල්ල
මේරි

Wednesday, August 16, 2017

11. ආදරණිය වොට්සන් - නිල් තණ බිස්ස




ඔයා ගෙ අද දවස පරීක්ෂණ කටයුතු වලටම කාර්ය බහුල වෙලා කියල මම දන්නවා. කම්මලේ කරපු පරීක්ෂණ කටයුතු එළිමහනට ගෙනියන දවස අද නේද.


පරීක්ෂණ කටයුතු කරන්න ගිහිල්ල අතරින් පතර නිදහස් වෙලාවට මට පින්තූර එවන්න තරම් ඔබට මාව මතක් කරපු ඔබගේ කාරුණික හදවත ට මම ණය ගැතියි.

එයිනුත්, අඟල් තුන හතරක් ඝනට වැඩුනු තණ බිස්සක වැතිරිලා අහස දිහා බලන් ඉන්න ඔබේ පින්තූරය නම් හරිම අපූරුයි. ඒ පින්තූරය දැකල මට මතක් වුනේ "UP" චිත්‍රපටයෙ මම ඔය උඩ එල්ලල තියන පින්තූරය තියන අවස්ථාව.

අනිත් කාරණය තමා කොච්චර වයසින් එහාට ගියත් ඔබේ සමහර හැසිරීම් මට සිහිගන්වන්නෙ අතීතයේ හිටපු ප්‍රීතිමත් කුඩා කොල්ලෙක් වීම. කොහොම නමුත් ඒ තණ බිස්සෙ ඔබේ ළඟින්ම හාන්සි වෙන්න මට ඉඩක් නැති වුනත් , ඒ “මොහොත“ විඳින ඔබව දැකල මගෙ හිතට දැනුනෙ සතුටක්.

හැබැයි ඔබ එවපු අනිත් පින්තූරය දැකල නම් මගේ හිතට දැනුනෙ දුකක්. කම්මලේ පරීක්ශන වලින් පස්සෙ එළිමහනට අරන් ගියපු ඒ පරීක්ෂණ සවි කරන තැන තිබ්බ ලස්සන දිය පාරේ ගහගෙන එන ඒ කුණු ගොඩ දැකල මිනිස්සු ගැන දැනුනෙ අප්‍රසාදයක්.

ඒත් මට අහන්න බැරි වුනා ඔයා සහ ඔයාගේ පරීක්ෂන කමිටුවේ පිරිස ඒ ගහගෙන ආපු කුණු ගොඩවල් පෙරල අරන් ඒවට මොකද කරන්නෙ කියලා. නගර සභාවත් එයාල එකතු කරන ඒ කුණු ගොඩවල් ඇයි කෙලින්ම ගඟට දාන්නෙ ? මේවා ගැන ඇයි පරිසරවේදියො නිහඬ .

කාර්ය බහුල වෙලාව ක ඔයා වගේ බැරෑරුම් තනතුරක් දරන කෙනෙක් , තණ පිස්සක වැතිරිලා සුවය විඳින්න මොහොතක්සොයා ගන්න තරම් සිතක් තියන කෙනෙක් වෙච්චි ඔයාට ගඟේ ගහගෙන එන කුණු ගොඩ දැකල දැනුන හැඟීම ගැන මට තේරුම් ගන්න පුළුවන්.

අද නම් ඉතින් කම්මලෙන් පිට වැඩ නිසා ගෙදර එද්දි රෑ බෝ වේවී කියල මම දන්නවා. ගෙදර ආපු ගමන් මගේ මේ ලියුම කියවන ඔයාගේ මහන්සිය තුරන් වෙලා ගිහින් හිත සැහැල්ලු වෙලා , ඔයාගේ දකුණු පැත්තෙ නල දත පේන අර සුන්දර දුරලභ ඝනයෙ හිනාව මතු වෙන්න කියලා පතමින්

අදට සමුගන්න මම,

ඔයාගේ ආදර
මේරි

Tuesday, August 15, 2017

10. ආදරණිය මේරී - ඇමරිකන් පූසිගෙ හාද්ද

ආදරණීය මේරි,

උඔ අදත් විභාග වැඩට ගියා නේද. ඉතිං අද දෙන්නම බිසී. ඒක හොඳයි. නැත්තං පාළු දැනෙනවානෙ.

ඉතිං මේරි අළුතිං මොකුත් ලියන්නෙ නැද්ද බං. ටිකක් උදාසීන වෙලාද. අළුත් දෙයක් කරමු, පින්තූර කතාවක්? නැත්තං නිවාඩුව නිකංම ගෙවිල යයි දඩෝරියත් එක්ක.

අනේ මගෙ එළුවත් ආවනෙ උඹේ පිටින් අන්තර්ජාලෙට. ඒත් ඉතිං ස්තූති කරන්නවත් ඌ නෑනෙ අද. තව කතන්දර මතක් වෙන විදියට එවන්නං. අඩු ගානෙ මතකෙ අළුත් වෙන්න වත්.අර මං බිල්ඩිමේ දිග පලළ මැනපු හැටි ගැන ලියන්න බැරිවෙයි නේද? ඒකත් හොඳ මතකයක් තමා. 

එතකොට මහ මෙරක් වගේ නැතිව අපිට සරලව ඉන්න පුළුවන්.මට නං ඔය අතීතය සුන්දර මතක පොතක් විතරයි. ඕක කර තියාගෙන හිත හිතා ඉන්නෙ නං නෑ. අනාගතේ ගැනත් මහ දේවල් ඔළුවෙ නෑ. හොඳම දේ වර්තමානෙ ජීවත් වෙන එක. 

උඹට කේන්ති ගියාද පූසි මගේ මූණ ඉඹිනවා දැකලා? ඒත් ඉතිං මොනා කරන්නද. ඌට සිංහල තේරෙන එකක්ය. ඇමරිකාවෙන් ආවට ඉංග්‍රීසිත් බෑ බං. අපි වගේම තමා.

උඹ කොළඹ එන්නෙ කවදද මැණික? හම්බවෙන්ඩ පුළුවන් වෙයිද දන්නෙ නෑ සතියෙ මැදක් උනෝතිං. එහෙම උනොත් කේන්ති ගන්න එපා. මේ පරීක්ෂණ වැඩ ආය ටිකක් ගොඩ ගැහෙනවා, ඉතිං එක පාර නිවාඩු ගන්න අමාරුයි හෝම්ස් මහත්තයාගෙන්. වැඩ අහක වෙලා කතා කරහං. මං ඉන්නවා එතෙක්. 

පරිස්සමින් පණ.
මේ ඔයාගේ
වොට්සන්

Sunday, August 13, 2017

වොට්සන්ගේ ළමා විය 1 කුඩා ඔය - කුඩා විය



මා එවක හතේ පන්තියේ ඉගෙන ගන්නා කුඩා කොළු ගැටයෙකි. නගරයේ මධ්‍ය විද්‍යාලයකඉගෙනීමට අවස්ථාව ලැබූ කොළුවෙකු වූවත් මා වඩාත් ප්‍රිය කළේ මගේ පියා විදුහල්පති ධුරය දැරූ ඒ කුඩා ග්‍රාමීය පාසලට බැව් පැවසූව හොත් ඔබ අතුරින් යමෙක් පුදුම වූව ද, මෙම කතාව අවසානයේ දී මා එතරම් එම පාසලට ප්‍රිය වූයේ මන්දැයි ඔබට වැටහීමට වඩාත් ඉඩ ඇත.

කුඩා ඔය සිට කිලෝමීටර හයක පමණ දුරක දුශ්කර පා ගමනකින් පසුව හමුවන ඒ සුන්දර කුඩා පාසල ට මගේ ඇති බැදීම , මගේ පියා එම පාසලේ විදුහල්පති ධුරය දැරීම පමණක් ම නොවන්නේ ය.

කණිෂ්ඨ පාසලක් වූ එය , මා අයත් වූ පාසල තරම් පොහොසත් නොවූවත් සාර සොබාවට වැඩුනු ගහ කොළෙන් මලින් ද අපූරු ජීවීන්ගෙන්ද පිරී පැවතුණි.  විදුහල්පතිතුමාගේ අපූරු දඟකාර පුතා වූ මට එම පාසලේ කිසිවකුගෙන් කිසිම දෙයකට කිසිදු බාධාවක් නොවී ම ද නිදහසේ සැරීමට හැකි වීම ද ඒ පාසලට ආදරයෙන් බැදීමට හේතු වූ එක් කරුණක් පමණි.

මගේ පාසලේ වාර විභාග කාල වල දී මෙන්ම ඉඩක් ලද සෑම විටකදීම තාත්තා සමඟින් මෙහි පැමිණිමට මා ගන්නා උත්සාහය නැවතීමට කිසිදු විටක තාත්තා මැදිහත් නොවීමද මා කුඩා කොලුවෙකු වූවත් ඔහු මා කෙරෙහි දැක්වූ ස්වාධිනත්වය ද අද කාලයේ වැඩිහිටියන්ට ආදර්ශයට ගත යුතු අවස්ථා බැව් සටහන් කරමි.

එකල ලෝක බැංකු ආධාර යටතේ පාසල් සිසුන් අතර බෙදා දීම සඳහා ලැබුනු හතරැස් හැඩැති කුඩා බිස්කෝතු (අදිහැස)  අහුරක් මිටට ගුලි කර ගන්නා මම පාසලේ මා කැමතිම කෙනා සොයා පියඹන්නේ මගේ අහස්යාත්තරාවෙනි.

මා ඈතින් ගොඩ බාන අයුරු දකිනා ඔහු මගේ මිට මෙලවී ඇති අත දෙස බලා උගේ කුඩා වලිගය සොලවමින් හිසින් සන්කරන්නේ මගේ අරමුණ සක්සුදක් සේ වටහා ගෙන එයට එකඟත්වය පළ කිරීමට මෙනි.

උගේ පිට පිරිමදිමින් මා මිටි වූ අත උගේ මුව වෙත දිගු කරත්ම උගේ වලිගය සෙලවීම නතර වන්නේ මා අතරැදි හතරැස් බිස්කෝතු වල රස,  රස විදීමට වලිගයේ සෙලවීම පවා බාධාවක් නිසා වන්නට ඇත.

පාසලේ සිටිනා මා සිත්ගත් මේ අපූරු ජීවියා මධ්‍යම ප්‍රමාණයේ හොඳින් වැඩුනු හරකෙකු තරමට වැඩුනු එළුවෙකි. බිස්කෝතු අනුභවයෙන් කුල්මත්වන එළුවා එළු රැවුල් නිකට දෙතුන් වරක් සොලවා “බෑ........හ්............හ් බෑ....... හ්.............හ්............. බෑ..............“ කියන්නේ  , බෑ කීමට බැරි කමකට නම් නොවන අතර මා සිතේ අරමුණ සාක්ෂාත්කර ගැනීමට ඌ සූදානම් බැව් ඇගවීමටය.

ඉන් පසු අසල ඇති අඩි දෙකක් දෙකාමාරක් පමණ උස හුඹස වෙතට එළුවා ළං කරගන්නේ එකවර එළුවා මත නැගීමට තරම් උසක් මා වෙත නොමැති බැවිනි. හුඹසේ පැතලි වී මැදී ඇති ඉහළ කොටස , මා ගේ මේ එළු එළවිල්ලට කොතරරම් සහයක් දක්වා ඇද්දැයි  කියා පාන කදිම සාක්ෂියකි.

හුඹහට පය තබා එළුවාගේ පිටට නඟින තෙක්ම කිසිදු හැල හොල්මනක් නොමැතිව සිටීමට තරම් එළුවා සහ මා අතර  වූ ලෙංගතුකම වැඩී තිබුණි.

එළුවාගේ පිටට නැගී , පස්ස මදක් ඔසවා , තට්ටම් වල යට කොටසින් අඩක් පමණක් එළුවාගේ පිට මත තබා කොන්ද තරමක් ඇල කර එළුවාගේ බෙල්ලට සමාන්තරව දික් වී උගේ  අ: කොට දෙකෙන් අල්ලා ගත් විට ගමනට සියල්ල සූදානම් බව දෙදෙනාටම සක් සුදක් සේ පැහැදිලිය.

ඉන් පසු ඌත් මාත් එක් අයකු බවට පත් වන අතර පාසල් වත්තේ රවුමක් දුවන එළුවා , හුඹස තිබූ ගස යටට පැමිණ නතර වූ පසු නම් කොතරම් ලෙංගතු වූවත් නැවත රවුමක් යාමට උනන්දුවක් නැති සේ නොසෙල්වී සිටින්නේ අර කුඩා හතරැස් බිස්කට්  අහුරක්ලැබෙන තෙක් ය.

මා වයසින් වැඩෙත්ම කුඩා ඔය කුඩා පාසලත් , එළුවාත් මනසින් තුරන් වී ගොස් මනසේ එම ස්ථාන වෙනත් අයවලුන් විසින් අයත් කර ගත්ත ද පරිණත පිරිමියෙකු විලසින් ලෑන්ඩ් රෝවරයේ නැගී කුඩා ඔය පසු කරනා සෑම අවස්ථාවක දී ම ඒ එළුවාගේ මිහිරි  මතකය කුඩා ඔය වියළි සුළඟට මුසු වී පරිණත මගේ හදවත අදත් තෙත් කරන්නට සමත් ය.