Tuesday, August 22, 2017

15. ආදරණිය මේරි - ඔරු පැදිල්ල


ආදරණීය මේරි, 
උඹේ ඇවිදීම නං අපූරුයි. ඒ ගමන් පොටෝ ගහපු එකත් ඊට වඩා අපූරුයි. ඒ යන විදියටම යන්න. කකුල් කැපෙන එක ගැන පරිස්සමින්. 
මොනා උනත් තෙල් හා පිටි අඩුවෙන් කෑම. අමතක කරන්න එපා ඒක. මගේ ඇඟිල්ල නං පැසවලා බං. අද වැඩට ආවට ඇවිදින්න ගියේ අඩුවෙන්. රිදෙන්නෙ නං නෑ, ඒත් වැඩිවෙයි කියල බයට. 
අර උඔ පොටෝ ගහපු වැවේ ඔරු පදින්න බැරිද බං අපිට? මට නං මාර ආසවක් තියේ ඒ වැඩේට. උඔට ඇහැක්ය හබල් ගාන්න? පොල් ගාන්න වගෙ ලේසියි කියන්නෙ. ඇත්ත වෙන්නැති නේ බං. 
කවද්ද අර ලබු කිරිබත් පංගුව එන්නෙ ? දැං දෝසියි , කිරි බතුයි ලොරියක් වත් ලේස්ති කරන්න වෙයි වගේ. එක්කො උඹ එනකොට අරං වරෙන්. කකා ඉන්න බැරිය. 
අදත් ඇවිදින්න යනෝද? දුවන්න එපා ටික ටික වැඩි කර ගනිං වේගය. ඔය ගියපු ගාන හොඳටෝම ඇති. ඒක එහෙමම පවත්ත ගනිං. අදත් ගියොත් පොටො ගනිං, මං හිතුවේ උඹ Cannon කැමරාව ගෙනියනව කියල. 

ආයෙත් හිමීට ලියන්නං. 
පරිස්සමින් පණ.

මම උඹේම
ආදරණිය
වොට්සන්

14.ආදරණීය වොට්සන් - ඇවිදීම


ඉතින් වොට්සන් , ඔයා ගමේ ගිහින් නිසා මට පාළුයි. ඒ උනාට මේ ඇවිදින වැඩේ දැන් නැගලම යනෝ.
පළවෙනි දවෙස මට වෙච්චි ඇබැද්දි නිසා අද මම තෝරා ගත්තේ මාව වැඩිය අඳුරන්නෙ නැති අය ඉන්න පාරක්. ටාගට් එක වුනේ කි.මි පහක් විතරයි. දෙයියනේ කියල ඇවිදන් යද්දි පින්තූර ගන්න තැන් දෙකක නතර වුනා.
ඒ මදිවට ටවුම කිට්ටු කරද්දි “නෙළුම් මලේ “ රැස්වීමකට ආපු සෙනඟකට මැදි වුනා.ඒ සෙනඟ දැක්කාම නම් සතුටක් දැනුන.ඒ මොකද කියනව නම් ඊයේ රැස්වීමට හිටි සෙනඟට වඩා සෙනඟක්.ඒ කියන්නේ , දේශපාලන රැස්වීම් ගැන උනන්දුවක් දක්වන අයත් ඉන්නවා කියල. නැතිව මේ මම නෙළුම් මලට කැමති කියනෙක හෙම නෙමෙයි හරිය.

ඉතින් වොට්සන්... ඇවිදීමේ වැඩේ දී පළවෙනි කි.මීටරය හොඳ වේගෙකින් ගියා. දෙවෙනි කිලෝ මීටරය අන්තිම හරියෙ වෙද්දි දාඩිය දාන්න පටන් ගත්තා. තුන්වෙනි කිලෝමීටරය සතුටින් ඇවිද්දත් හතර සහ පස්වෙනි කිලෝමීටර් වල දි වේගය අඩු වුනා.කකුල් දෙකේම දිය පට්ට මතු වෙන්න ගත්තා.ඒ උනාට මම නොසැලී ඉදිරියටම ගියා. 
ඒක නෙමේ වොට්සන් , මම පාවිච්චි කරපු ඇප් එකේ “පාර “ විදිහට පෙන්නුවේ නම් මම ඇවිදපු පාරට සමාන්තව තිබ්බ වෙනත් පාරක්. ඒ ඇයි ? ඔයා දන්නවැයි ඒකට හේතුව.අනේ මට නම් තේරෙන්නෑ. ඒත් ඉතින් කිලෝ මීටර් ගාන වත් හරි ඇති කියල හිත හදා ගත්තා.....
ඔක්කොමත් හරි කියමු කෝ. මේ ඇවිදිල්ලෙ වැඩේ නිසා ගෙදර එද්දි හැන්දෑ වෙලා තිබ්බා. මම ගෙදර එනකම් ගේ දොරකඩ මඟ බලා හිටපු අපෙ නංගි ගෙ කොලු පැටියා.මාව දැක්ක ගමන් සතුටින් පිළිගත්තේ ඒ වෙනකම් අත පිටිපස්සට කරල හංගන් හිටපු “එළවළු රොටිය “ මා දිහාට දික්කරන ගමන්.
“ ඔයා එනකම් මම බලන් හිටියේ.............මේක ඔයාට ආහ් කන්න ඉතින් “කොල්ලගේ හිත රිදවන්න බැරි කමට තෙල් තැවරුම තාමත් බේරෙන එළවලු රොටිය අතට ගත්ත මට කොල්ල ගැන සතුටකුත් මා ගැන දුකකුත් දැනුනා.
ඉතින් වොට්සන් සඳුද ඉක්මනට උදා වෙන්න කියලා පතමින් නවතින මම,
ඔබට හැමදාමත් ආදරය කරන
මේරී

ප:ලි - බය වෙන්නෙපා කොල්ලගෙ හිත රිවන්න බැරිකමට ගත්ත එළවලු රොටිය. කාටත් හොරෙන් ..................මම කෑවද ? නෑ නෑ.... කුණු බාස්කට් එකේ යටටම දැම්මා.............ඔය තියෙන්නෙ මඟ දි අල්ලපු පින්තූර දෙකෙන් එකක්....හොඳම කෝණෙ හොය හොය කාලෙ නාස්ති කරන්න වෙලාවක් නැති නිසා. ෆෝන් එක අල්ලපු ගමන් ක්ලික් කරන් ආවා...

Friday, August 18, 2017

13. ආදරණීය මේරි - කාර්ය බහුල සති අන්තය ට පෙර

උඹේ විස්තර ලැබුනා. ස්තුති. මං ඉතිං වැඩ අස්සෙම හොඳට විවේකයක් ගත්තා තණ නිල්ලෙ. ආස්යන්තරා හිටන් දැක්කා බං. වලාකුල් නටන හැටි, හඳ පායන්ඩ ඉඩ හදාගෙන ඉර නැතිවෙන හැටි; ඔක්කොම.

කකුල නං රිදේ තාම, ඒක පැසවලා තියේ. අද බෙහෙත් ගන්න ඕනි. 

ඉතිං උඹේ ඇවිදීම නං හොඳා. ඔහොම හැමෝ එක්කම ඉඳලා චන්දෙ ඉල්ලන්න වත් බැරිය.
ඒ හිංදා ගමේ ඇවිදලා ප්‍රශ්න හොයාගෙන, උත්තරත් හොයාගෙන ගියොත් Land Rover නෙවෙයි Range Rover එකක් ගන්න බැරිය.
BMI ගැන හිතන් නැතුව ඇවිදපන්. එක දිගට අඩු ගානෙ පැයක් වත්. එතකොට ඒ ප්‍රමානෙ ඇති. ටිකෙන් ටික වේ ගෙ වැඩි කර ගත්තම ඉබේම හරියයි.
උඹ ගමේ ඈයො එක්ක වොට්සන් ගෙ විස්තර කියන්නෙ නෑ නේද. එහෙම උනොත් මට පරීක්ෂණ වැඩිවෙයි. ඒත් ඉතිං නොමිලේ නවාතැන් දෙනව නං එන්නම්. ආය ඉතිං මොකද උඔ හම්බෙනව නං. මටත් බැරියැ වෙල මැද්දෑවෙ පාරෙන් ඇවිදන් යන්න. ගමටම පේන්න.
අතිං අල්ලගෙන යනවද එතකොට වත් මැණික.
ඉතිං ආයෙත් උඹව බලන්න වෙන්නෙ සඳුද තමා. ඉරිදත් තව පරීක්ෂණ වගයක් තියේ කොළඹ පැත්තෙ, හෙට නම් උඹ විභාග වැඩනෙ. පරිස්සමින් හිටපන් පණ.
ආයෙත් ලියන තුරා නවතිමි.

මේ උඹේ කරදර කාර වොට්සන් මයැ.

Thursday, August 17, 2017

12.ආදරණීය වොට්සන් - ජොගින් ජෝගිය


ඉතින් වොට්සන් , ඔයාගේ දකුණු කකුලෙ මාපටැගිල්ලේ නියපොත්තේ තත්ත්වය දැන් කොහොමෙයි? පරීක්ෂණ වැඩ වලට කිය කිය කැලෑ අස්සෙ රිංගද්දි නියපොත්ත එල්ලුනු දිලීර වල හපන්කම තමයි ඔය. එහෙමෙයි කියල ඔයාගේ ඇඟලි දහයම දිලීර අයිතිකර ගත්තත් ඔයා නෙමෙයි කැලෑ ගමන නතර කරන්නේ කියල මම හොඳින්ම දන්නවා. 
ඔයා අද කම්මලේ වැඩ ඉවර වෙලා නවාතැනට යන ගමන් ෆාමසියට ගොඩ වෙලා මැග්නීසියම් සල්පේට් කැට (මැක්සල් ) ටිකක් අරන් ගිහින් වතුර එක්ක පොගවලා පුලුන් කෑල්ලකින් අර වේදනාබර මාපටැගිල්ලට තියල බලන්න.පුලුන් කෑල්ල වේලෙන කොට ආය ආය මැක්සල් වලින් පුලුන් කෑල්ල පොගවන්නත් අමතක කරන්නෙපා. ඔන්න බලන්න ඔය නියපොත්ත ඔතනම හොඳ වෙන්නෙ නැද්ද කියලා.අනික ඉතින් රෑට මගේ මූණත් තහඩුව දැක්කාම ඔය වේදනාව නැති වෙනව කියල නම් මම හොඳින්ම දන්නවා.
ඉතින් වොට්සන් අද හැන්දෑවරුවෙ මම ආපහු අලුතින් ඇවිදින්න පටන් ගත්තා. මේ ගම්කොරේ පැති වල ජොගින් ට්‍රැක් නැති නිසා මහ පාරේ ගිහින් අතුරු පාරක දාලා ඇවිදිනේක තමා කරන්නේ.ඒ වැඩේ කාලයක් කරල මම අතෑරල දැම්මෙ නොයෙක් හේතු නිසා.ඒත් එන්න එන්නම ස්ථුලතාවයට ළං වෙන ශරීරය දිහා බලාන ඉන්න බැරි නිසාත් ඔයා උනත් කැමති බොහොම සිහින් සිරුරක් තියන මේරි කෙනෙක්ට නිසාත් මට ආපහු මේ ඇවිදිල්ල පටන් ගන්න හිතුනා.
ඔන්න ඉතින් බලන්න, ඒ ඇවිදිල්ල හරිම රසවත් කියන්නේ , අනිත් දවසෙ ඇවිදින්න යන්න කලින් අර හොරු දාන ජාතියේ මුහුණු ආවරණයක් පලදින්න තමා මට සිද්ධ වෙන්නේ. 
දන්නවද ඒ ඇයි කියලා.ගෙරින් එළියට බැහැල මීටර් 100ක් යන්න කලින් හමුවුනා මිරිස් මෝලේ අර ලස්සන හාදය. 
“ මොකද මේ අවේලාවේ හදිස්සියෙන් වගේ “ . 
“ නෑමේ ටවුමට යන්න කියලා.ගිහින් එන්නම් මල්ලි “...... තව අඩි කීයද යන්න වුනේ එගොඩහ ගොඩේ කාන්ති , ඕපදූප මල්ල
 “ ඔහෙලට නම් මොකද දැන් ඉතින් නිවාඩු නේ .කොහෙද මේ හැන්දෑ වෙලා යන්නේ “ 
ගෙවල් සීමාවෙන් පයිනෙක නම් ඇත්තටම හරි අමාරු වැඩක්. ඔය ඔක්කමත් අස්සේ අදුරන බල්ලො ඇවිත් වල්ග වන වන මා පස්සෙන් ටික දුරක් එනවා.ප්‍රධාන පාරෙන් එන එකත් පණ යන වැඩක්. 
දූවිලි වලට වඩා වාහන දුම්. ශරීරෙ බර අඩු කර ගන්න ගිහින් වේලාපහ මැරෙන තරමට ඒ දුම විසයි. ඒ නිසා මම වැඩිය කවුරුත් එන්නෙ යන්නෙ නැති අතුරු පාරකට හැරෙව්වා.... 
ඒ පාර තියෙන්නේ අකුරැස්ස නගරය මඟහැර යන්න . අලුතින් හදපු ලස්සන පාර.වෙල් යායක් මැදින් වැටිල තියෙන්නෙ.ඒ වෙල මැද පන්සලකුත් තියනවා.හැබැයි ටවුමට කිට්ටු වෙන හරියෙදි අතෑරපු වෙල් කුණු දාලා පුරවනව. 
ඒ පාරේ හොදක් තියෙන්නෙ වැඩිය තියා කොහෙත්ම වාහන යන්නෑ. හැබැයි තැන තැන මෝටර්බයිසිකල්කාරයෝ නැවතිලා හිටු කියලා මල් කඩනවා.ඉස්සර නම් වලත්ත කොල්ලො පිරිලා හිටපු ඒ පාරේ දැන් නම් සැනසිල්ලේ ඇවිදින්න පුලුවන්....
ඒත් වැඩි දුරක් යන්න වුනේ නෑ. නැවත්තුවා මා ළඟින්ම ත්‍රීවීල් එකක් 
“ ආහ් ඉස්කෝලෙ හාමිනේ මොකද මේ පාරේ පයින්ම. නගින්න මම යන්නෙත් ඒ පැත්තට “ 
“ නෑ නෑ...මම මේ ළඟට යන්නේ.... යාළුවෙක් ගෙ ගෙදර. ඔහෙ යන්න .ඇවිදිනේක ඇඟටත් හොඳයි නේ “ 
ඔයා දන්නවැයි මට එහෙම තුන් රෝද රථ තුනක්ම නතර කරා. ඒ නම් මදැයි. යන්තම් ඇඟට දාඩිය ටිකක් දාගෙන එන්න පටන් ගනිද්දිම , දැනට අවුරුදු දෙකකට කලින් අපෙ ඉස්කෝලෙ වැඩ කරල දැන් වෙන ඉස්කෝලෙක උගන්වන අර හීන්දැරි සුදු උස සර්.... එයැයිතුත් බයිකෙකෙන් ඒ පාරමෙ ඒ වෙලාවෙම ...... උන්දැ එක්ක නම් කතා නොකරම බැරි වුනා.මොකද කියනව නම් මාව දැකල ආපහු හරවන් ඇවිත් තමා කතා ව පටන් ගත්තේ. ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ ඉදල හැම කෙනා ගැනම විස්තර අහල.එයැයිගෙ ඉස්කෝලෙ විස්තර කියලා .සමුගනිද්දි සැලකිය යුතු වෙලාවක් ගත වෙලා.
අනේ වොට්සන් , දැන් ඉතින් ඔයාම කියන්න බලන්න මගේ මේ ඇවිදිල්ලෙ වැඩේ හරියන එකක් ද කියලා. ඒ කෙසේ වෙතත් එමින් ගමන් කඩේට ගොඩ වෙලා , කඩල, සුදු කව්පි, රතු කව්පි , මුං ඇට , ඕට්ස් එක්කම බර කිරන්න තරාදියකුත් අරගෙනමයි ආවේ. අනේ ඒත් බර කීයද කියල නම් අහන්නෙපා.
ඔයා කැමැති ජාතියේ ලස්සන කෙසඟ කෙල්ලක් වෙන්න මට බැරි වුනත් අඩුම තරමේ මගේ BMI එක හදා ගන්න හරි මේ පටන් ගත්ත වැඩේ නම් මම කීයටවත් නරත කරන්නෙ නම් නෑ. ඉතින් වොටසන් ඔබට සුබ රැයක් පතමින් නතර වෙන මම,
ඔබේ ආදරණිය බෝල කෙල්ල
මේරි

Wednesday, August 16, 2017

11. ආදරණිය වොට්සන් - නිල් තණ බිස්ස




ඔයා ගෙ අද දවස පරීක්ෂණ කටයුතු වලටම කාර්ය බහුල වෙලා කියල මම දන්නවා. කම්මලේ කරපු පරීක්ෂණ කටයුතු එළිමහනට ගෙනියන දවස අද නේද.


පරීක්ෂණ කටයුතු කරන්න ගිහිල්ල අතරින් පතර නිදහස් වෙලාවට මට පින්තූර එවන්න තරම් ඔබට මාව මතක් කරපු ඔබගේ කාරුණික හදවත ට මම ණය ගැතියි.

එයිනුත්, අඟල් තුන හතරක් ඝනට වැඩුනු තණ බිස්සක වැතිරිලා අහස දිහා බලන් ඉන්න ඔබේ පින්තූරය නම් හරිම අපූරුයි. ඒ පින්තූරය දැකල මට මතක් වුනේ "UP" චිත්‍රපටයෙ මම ඔය උඩ එල්ලල තියන පින්තූරය තියන අවස්ථාව.

අනිත් කාරණය තමා කොච්චර වයසින් එහාට ගියත් ඔබේ සමහර හැසිරීම් මට සිහිගන්වන්නෙ අතීතයේ හිටපු ප්‍රීතිමත් කුඩා කොල්ලෙක් වීම. කොහොම නමුත් ඒ තණ බිස්සෙ ඔබේ ළඟින්ම හාන්සි වෙන්න මට ඉඩක් නැති වුනත් , ඒ “මොහොත“ විඳින ඔබව දැකල මගෙ හිතට දැනුනෙ සතුටක්.

හැබැයි ඔබ එවපු අනිත් පින්තූරය දැකල නම් මගේ හිතට දැනුනෙ දුකක්. කම්මලේ පරීක්ශන වලින් පස්සෙ එළිමහනට අරන් ගියපු ඒ පරීක්ෂණ සවි කරන තැන තිබ්බ ලස්සන දිය පාරේ ගහගෙන එන ඒ කුණු ගොඩ දැකල මිනිස්සු ගැන දැනුනෙ අප්‍රසාදයක්.

ඒත් මට අහන්න බැරි වුනා ඔයා සහ ඔයාගේ පරීක්ෂන කමිටුවේ පිරිස ඒ ගහගෙන ආපු කුණු ගොඩවල් පෙරල අරන් ඒවට මොකද කරන්නෙ කියලා. නගර සභාවත් එයාල එකතු කරන ඒ කුණු ගොඩවල් ඇයි කෙලින්ම ගඟට දාන්නෙ ? මේවා ගැන ඇයි පරිසරවේදියො නිහඬ .

කාර්ය බහුල වෙලාව ක ඔයා වගේ බැරෑරුම් තනතුරක් දරන කෙනෙක් , තණ පිස්සක වැතිරිලා සුවය විඳින්න මොහොතක්සොයා ගන්න තරම් සිතක් තියන කෙනෙක් වෙච්චි ඔයාට ගඟේ ගහගෙන එන කුණු ගොඩ දැකල දැනුන හැඟීම ගැන මට තේරුම් ගන්න පුළුවන්.

අද නම් ඉතින් කම්මලෙන් පිට වැඩ නිසා ගෙදර එද්දි රෑ බෝ වේවී කියල මම දන්නවා. ගෙදර ආපු ගමන් මගේ මේ ලියුම කියවන ඔයාගේ මහන්සිය තුරන් වෙලා ගිහින් හිත සැහැල්ලු වෙලා , ඔයාගේ දකුණු පැත්තෙ නල දත පේන අර සුන්දර දුරලභ ඝනයෙ හිනාව මතු වෙන්න කියලා පතමින්

අදට සමුගන්න මම,

ඔයාගේ ආදර
මේරි

Tuesday, August 15, 2017

10. ආදරණිය මේරී - ඇමරිකන් පූසිගෙ හාද්ද

ආදරණීය මේරි,

උඔ අදත් විභාග වැඩට ගියා නේද. ඉතිං අද දෙන්නම බිසී. ඒක හොඳයි. නැත්තං පාළු දැනෙනවානෙ.

ඉතිං මේරි අළුතිං මොකුත් ලියන්නෙ නැද්ද බං. ටිකක් උදාසීන වෙලාද. අළුත් දෙයක් කරමු, පින්තූර කතාවක්? නැත්තං නිවාඩුව නිකංම ගෙවිල යයි දඩෝරියත් එක්ක.

අනේ මගෙ එළුවත් ආවනෙ උඹේ පිටින් අන්තර්ජාලෙට. ඒත් ඉතිං ස්තූති කරන්නවත් ඌ නෑනෙ අද. තව කතන්දර මතක් වෙන විදියට එවන්නං. අඩු ගානෙ මතකෙ අළුත් වෙන්න වත්.අර මං බිල්ඩිමේ දිග පලළ මැනපු හැටි ගැන ලියන්න බැරිවෙයි නේද? ඒකත් හොඳ මතකයක් තමා. 

එතකොට මහ මෙරක් වගේ නැතිව අපිට සරලව ඉන්න පුළුවන්.මට නං ඔය අතීතය සුන්දර මතක පොතක් විතරයි. ඕක කර තියාගෙන හිත හිතා ඉන්නෙ නං නෑ. අනාගතේ ගැනත් මහ දේවල් ඔළුවෙ නෑ. හොඳම දේ වර්තමානෙ ජීවත් වෙන එක. 

උඹට කේන්ති ගියාද පූසි මගේ මූණ ඉඹිනවා දැකලා? ඒත් ඉතිං මොනා කරන්නද. ඌට සිංහල තේරෙන එකක්ය. ඇමරිකාවෙන් ආවට ඉංග්‍රීසිත් බෑ බං. අපි වගේම තමා.

උඹ කොළඹ එන්නෙ කවදද මැණික? හම්බවෙන්ඩ පුළුවන් වෙයිද දන්නෙ නෑ සතියෙ මැදක් උනෝතිං. එහෙම උනොත් කේන්ති ගන්න එපා. මේ පරීක්ෂණ වැඩ ආය ටිකක් ගොඩ ගැහෙනවා, ඉතිං එක පාර නිවාඩු ගන්න අමාරුයි හෝම්ස් මහත්තයාගෙන්. වැඩ අහක වෙලා කතා කරහං. මං ඉන්නවා එතෙක්. 

පරිස්සමින් පණ.
මේ ඔයාගේ
වොට්සන්

Sunday, August 13, 2017

වොට්සන්ගේ ළමා විය 1 කුඩා ඔය - කුඩා විය



මා එවක හතේ පන්තියේ ඉගෙන ගන්නා කුඩා කොළු ගැටයෙකි. නගරයේ මධ්‍ය විද්‍යාලයකඉගෙනීමට අවස්ථාව ලැබූ කොළුවෙකු වූවත් මා වඩාත් ප්‍රිය කළේ මගේ පියා විදුහල්පති ධුරය දැරූ ඒ කුඩා ග්‍රාමීය පාසලට බැව් පැවසූව හොත් ඔබ අතුරින් යමෙක් පුදුම වූව ද, මෙම කතාව අවසානයේ දී මා එතරම් එම පාසලට ප්‍රිය වූයේ මන්දැයි ඔබට වැටහීමට වඩාත් ඉඩ ඇත.

කුඩා ඔය සිට කිලෝමීටර හයක පමණ දුරක දුශ්කර පා ගමනකින් පසුව හමුවන ඒ සුන්දර කුඩා පාසල ට මගේ ඇති බැදීම , මගේ පියා එම පාසලේ විදුහල්පති ධුරය දැරීම පමණක් ම නොවන්නේ ය.

කණිෂ්ඨ පාසලක් වූ එය , මා අයත් වූ පාසල තරම් පොහොසත් නොවූවත් සාර සොබාවට වැඩුනු ගහ කොළෙන් මලින් ද අපූරු ජීවීන්ගෙන්ද පිරී පැවතුණි.  විදුහල්පතිතුමාගේ අපූරු දඟකාර පුතා වූ මට එම පාසලේ කිසිවකුගෙන් කිසිම දෙයකට කිසිදු බාධාවක් නොවී ම ද නිදහසේ සැරීමට හැකි වීම ද ඒ පාසලට ආදරයෙන් බැදීමට හේතු වූ එක් කරුණක් පමණි.

මගේ පාසලේ වාර විභාග කාල වල දී මෙන්ම ඉඩක් ලද සෑම විටකදීම තාත්තා සමඟින් මෙහි පැමිණිමට මා ගන්නා උත්සාහය නැවතීමට කිසිදු විටක තාත්තා මැදිහත් නොවීමද මා කුඩා කොලුවෙකු වූවත් ඔහු මා කෙරෙහි දැක්වූ ස්වාධිනත්වය ද අද කාලයේ වැඩිහිටියන්ට ආදර්ශයට ගත යුතු අවස්ථා බැව් සටහන් කරමි.

එකල ලෝක බැංකු ආධාර යටතේ පාසල් සිසුන් අතර බෙදා දීම සඳහා ලැබුනු හතරැස් හැඩැති කුඩා බිස්කෝතු (අදිහැස)  අහුරක් මිටට ගුලි කර ගන්නා මම පාසලේ මා කැමතිම කෙනා සොයා පියඹන්නේ මගේ අහස්යාත්තරාවෙනි.

මා ඈතින් ගොඩ බාන අයුරු දකිනා ඔහු මගේ මිට මෙලවී ඇති අත දෙස බලා උගේ කුඩා වලිගය සොලවමින් හිසින් සන්කරන්නේ මගේ අරමුණ සක්සුදක් සේ වටහා ගෙන එයට එකඟත්වය පළ කිරීමට මෙනි.

උගේ පිට පිරිමදිමින් මා මිටි වූ අත උගේ මුව වෙත දිගු කරත්ම උගේ වලිගය සෙලවීම නතර වන්නේ මා අතරැදි හතරැස් බිස්කෝතු වල රස,  රස විදීමට වලිගයේ සෙලවීම පවා බාධාවක් නිසා වන්නට ඇත.

පාසලේ සිටිනා මා සිත්ගත් මේ අපූරු ජීවියා මධ්‍යම ප්‍රමාණයේ හොඳින් වැඩුනු හරකෙකු තරමට වැඩුනු එළුවෙකි. බිස්කෝතු අනුභවයෙන් කුල්මත්වන එළුවා එළු රැවුල් නිකට දෙතුන් වරක් සොලවා “බෑ........හ්............හ් බෑ....... හ්.............හ්............. බෑ..............“ කියන්නේ  , බෑ කීමට බැරි කමකට නම් නොවන අතර මා සිතේ අරමුණ සාක්ෂාත්කර ගැනීමට ඌ සූදානම් බැව් ඇගවීමටය.

ඉන් පසු අසල ඇති අඩි දෙකක් දෙකාමාරක් පමණ උස හුඹස වෙතට එළුවා ළං කරගන්නේ එකවර එළුවා මත නැගීමට තරම් උසක් මා වෙත නොමැති බැවිනි. හුඹසේ පැතලි වී මැදී ඇති ඉහළ කොටස , මා ගේ මේ එළු එළවිල්ලට කොතරරම් සහයක් දක්වා ඇද්දැයි  කියා පාන කදිම සාක්ෂියකි.

හුඹහට පය තබා එළුවාගේ පිටට නඟින තෙක්ම කිසිදු හැල හොල්මනක් නොමැතිව සිටීමට තරම් එළුවා සහ මා අතර  වූ ලෙංගතුකම වැඩී තිබුණි.

එළුවාගේ පිටට නැගී , පස්ස මදක් ඔසවා , තට්ටම් වල යට කොටසින් අඩක් පමණක් එළුවාගේ පිට මත තබා කොන්ද තරමක් ඇල කර එළුවාගේ බෙල්ලට සමාන්තරව දික් වී උගේ  අ: කොට දෙකෙන් අල්ලා ගත් විට ගමනට සියල්ල සූදානම් බව දෙදෙනාටම සක් සුදක් සේ පැහැදිලිය.

ඉන් පසු ඌත් මාත් එක් අයකු බවට පත් වන අතර පාසල් වත්තේ රවුමක් දුවන එළුවා , හුඹස තිබූ ගස යටට පැමිණ නතර වූ පසු නම් කොතරම් ලෙංගතු වූවත් නැවත රවුමක් යාමට උනන්දුවක් නැති සේ නොසෙල්වී සිටින්නේ අර කුඩා හතරැස් බිස්කට්  අහුරක්ලැබෙන තෙක් ය.

මා වයසින් වැඩෙත්ම කුඩා ඔය කුඩා පාසලත් , එළුවාත් මනසින් තුරන් වී ගොස් මනසේ එම ස්ථාන වෙනත් අයවලුන් විසින් අයත් කර ගත්ත ද පරිණත පිරිමියෙකු විලසින් ලෑන්ඩ් රෝවරයේ නැගී කුඩා ඔය පසු කරනා සෑම අවස්ථාවක දී ම ඒ එළුවාගේ මිහිරි  මතකය කුඩා ඔය වියළි සුළඟට මුසු වී පරිණත මගේ හදවත අදත් තෙත් කරන්නට සමත් ය.

Saturday, August 12, 2017

09. ආදරණීය මේරි - පාකර් පෑන


ආදරණීය මේරි,
අද උඹ විභාග වැඩ වලට යන හන්ද පාළු දැනෙයි. ඒත් සඳුද ආයෙත් මුණගැහෙයිනෙ.
මේ අන්තර්ජාලෙ හින්ද උඹයි මායි නිකං බොරුවට හිත් රිදෝගන්නව කියල මට හිතෙන්නෙ. ඉතිං මින් පස්සෙ ඒව උඹම කරපං,මං පැත්තකිං බලන් ඉන්නං. අනේ අර දෝසි දැක්කම නං ලෝබයි. ඒත්  උඹ ආයෙත් එනකොට ගේන්නං කිව්වනෙ මං බලන් ඉන්නවා එතෙක්.
දෙනියාය පැත්තට එන්ඩ නං ආසයි. මං ඉතිං සෑහෙන දුරක් ගෙවාගෙන එන්ඩ එපාය. අහසින් යන්ඩ පුළුවං කමක් තිබ්බනං උඹවත් අරං යන්න තිබ්බ සුපර්මෑන් වගෙ.
අනේ අහම්බෙන් හරි උඹට කතාකරන්න ලැබීම සතුටක්. කිසිම බාධාවක් නැතිව, නිදහසේ ඊටත් උදෙන්ම. හරිම අපූරු හැඟීමක් ඒක.
අනේ උඹ බස් එකේ යනකොට නං කොටන්න එපා ළඟ ඉන්න උං මේ ටීචට ඔල්මාදෙ කියල හිතයි. මං ඉතිං තරා නෑ උත්තර පරක්කු උනාට. ඒකත් එක්ක වට පිටාව බලාගෙන පලයං. පින්තූර කතාවකට මොනා හරි එකතු කර ගන්න පුළුවං වෙයි.
උඹේ තීන්ත පෑන ගැන මට කිව්වෙ නෑනෙ. මං පහේ පංතියෙ ඉඳන් තාම ලියන්නෙ තීන්ත පෑනෙං.බැංකුවෙදි තමා වෙන ඒව ගන්ඩ වෙන්නෙ. කළු පාට විතරයි.
ඔය අතින් ලියපු ලියුම උඹ එව්වද? තාම නං ලැබුනෙ නෑ. එහෙම නැත්තං ස්කෑන් කරල දාපං.
ඉතිං මේරි මං නවතින්නං.
පරිස්සමින් පණ. රණ්ඩු නොවී ඉම්මු.
මං
වොට්සන්

08.ආදරණීය වොට්සන් - දුප්පත් ජීවිතේ





නිකම් ගෙදර ඉන්න එකේ කීයක් හරි හොයා ගන්න එක හොද නිසා විභාග රාජකාරියකට යන්න හිතුවා. ඒත් ලැබුන ඉස්කෝලෙ ටිකක් දුර නිසා පාන්දරම යන්න වෙනවා. මේ කොටන්නෙත් පාන්දර දෙනියාය තැපැල් බස්සෙකේ යන ගමන්. 
සිටිබි බස්සේක යන්න ලැබෙනෙකේ එකම හොඳේ තියෙන්නෙ කණක් ඇහිල යන්න පුලුවන්කම තමයි .ගිය වර නම් ළග ඉස්කෝලෙක ට කතා කරා. මේ සැරේ උන්දැ මාත් එක්ක තරහ වෙලා ද කොහෙද. 
ඔයා අද කම්මලේ වැඩට යනව නේද. ඉතිරි පරීක්ශන ඉවර කරල ඔයා ගෙදර ගියාම මට ඉතින් පාලුයි. සදුද ඉක්මනට උදා වෙන්න කියල පතමින් මම ඔබට සුබ දවසක් පතන්නම්.
මේ ඔබට හැමදාමත් ආදරේ කරන
මේරි

Friday, August 11, 2017

07.ආදරණිය වොට්සන් - පුහුල් දෝසි ආදරේ


ආදරණිය වොට්සන් - පුහුල් දෝසි ආදරේ
------------------------------------------------------

බලන්න වොට්සන් , මම ඔයාට දැනටම ලියුම් තුනක් ණය යි. ඔයා හරි වේගයෙන් මට ලියුම් ලියනව. උදේ පාන්දර නැගිට්ට ගමන් හෝම්ස්ගෙ කම්මලේ පරීක්ෂණ ගැන හිත යොමු නොකර මා ගැන හිතමින් මෙහෙම ලියන එක හරිද මන්දා. නමුත් ඔබේ ඒ ලියුම් දකින මගේ හිත සතුටින් ඉපිලෙන බව නම් නොකියාම බැහැ.
ඔයා දන්නව ද වොට්සන් , අද මම දෙවුන්දර ගියා. මාතර දෙවුන්දර විශ්ණු දේවාලයේ මේ දවස් වල උත්සවය තියේ. පෙරහැර නම් තියෙන්නෙ රෑට.පෙරහැර බලන්න නම් එන්න වෙන්නෑ. ඔයාවත් හිටිය නම් අර යකඩ අශ්වය පිටේ නැගල ජෝඩු දාලා ඇවිත් පෙරහැර බලන්න තිබ්බා.
විශ්ණු දෙවියො ඇහුවා “වොට්සන් මහත්මයා කෝ “ කියලා. එයාගේ මොකක් ද දේව මණ්ඩලේ අභිරහසක් තියලු ඔයා ලව්වා විසඳ ගන්න. 
ඉතින් දේවාලයේ හිටිය සෙනඟ ඊළඟට හැරෙන්නේ අරුමෝසම් කඩ පේලියට.මාත් ඒ පේළියට එකතු වෙලා කඩෙන් කඩේට ගියා. බූන්දි කඩ, පුහුල් දෝසි කඩ අතරේ වෛයිවාරණ බඩු තියන කඩවල් පිරිලා. කඩෙන් කඩේට ගියාම බඩ පුරව ගන්නත් පුලුවන්.මොකද එයාල රස බලන්න කියලා බූන්දි , පුහුල් දෝසි , දොදොල් දෙනවා කන්න.
මම ඉතින් ඔයාට පුහුල් දෝසි , බූන්දි ,සීනි කඩල විතරක් නෙමේ කහ වලලුත් ගත්තා. ඒත් ඉතින් ඒවා ඔයාට එවන්න ක්‍රමයක් නම් මට හිතාගන්න බැහැ.
දෙවියන් ළඟ පැතුමක් පතන්න මට ඉඩ ලැබුන වෙලාවේ , ලබන ආත්මෙ හරි වොට්සන් ළඟින් ඉන්න පුළුවන් විදිහක් හදල දෙන්න කියලයි මගේ එකම පැතුම වුනේ. 


මීට
ඔබේ ආදරණිය
මේරි

Thursday, August 10, 2017

06. ආදරණිය මේරී - හිත අස්සෙ හිරවුනු මල්



හිත අස්සෙ හිරවුනු මල්



ආදරණීය මේරී ,

ඉතිහාසෙ පළමු වතාවට මල් පොකුරක් දුන්නෙ උඹයි. ඒක ගෙනාවමත් මොකක්ද කරන්නෙ කියල අදහසක් තිබුනෙ නෑ. අන්තිමට ඉතින් වාහනේ සුද්ද කරන්න ගියාම ඒවත් හරියට උඹේ හිත මගෙ අස්සට රිංගුව වගේ, පාපිසි අස්සෙන් ගන්නම බැරිඋනා.

උඔ අත් දෙක වන වනා ආව කියල මගේ තරහක් නෑ. එන එක විතරයි වැදගත්.
ස්ටෝබෙරි නං මග එනකොටම අහවරයි.

මේ
ඔබේ ආදරණීය
වොට්සන්

05. ආදරණිය වොට්සන් - ඒ පුංචි දම්පාට මල්



ඒ පුංචි දම්පාට මල් - Tiny purple flowers
-------------------------------------------------------

ආදරණිය වොට්සන්,

මම එදා එද්දි අරන් ආව අර පුංචි දම් පාට මල් මතකෙයි? ඒ මල් මම අර ගත්තේ නුවර එළියෙන්. ඒ වෙද්දිත් ඒ පුංචි මල් පරවෙලා.මල් නැවුම් නැති වුනත් ඒ පර වෙච්චි මල් වල අමුතු ලස්සනක් මට පෙනුනෙ ඒ වගේ මල් අපට කොහෙත්ම දකින්න නැති නිසා වෙන්නැති. අනික, ඔයා ව බලන්න නිකම් අත්දෙක වන වන එන්න බැරි නිසා පරවුනත් මල් නෙ කියල හිතල මල් පොකුර ගත්තෙ ඒකයි. 

ඒ මදි කියල හිතුන නිසා අලුත්ම ස්ටෝබෙරි ටිකකුත් ගත්තෙ ඒ ඔයා කැමතිම කෑමක් කියල නොදැන. 
මල් පොකුර පරවෙලා නිසා අර යකඩ අස්සයා ගැස්සෙන හැම වෙලාවකම පොකුරෙන් පුංචි මල් කීපයක් බිමට වැටුනා. මල් පුංචි නිසා අහුලන්නත් හරි අමාරුයි..... ඒත් ඒ ඉහිරිච්චි පුංචි දම් පාට මල් දකින හැමවෙලේම මාව මතක් වෙනව කියල දන්නව නම් මම මුළු මල් පොකුරෙම මල් මුළු ජිප්පෙක පුරාම හලලයි එන්නේ.

මේ 

ඔබේ ආදරණීය
මේරි

04.ආදරණීය මේරි - ආපහු කම්මලට



ආදරණීය මේරි.


ඔයා පාළුවෙන් ඉන්න බව මට හැඟෙනවා. ඒත් ආය කම්මලට ගිය වහාම උඹව අමතන්නම්. දැන් ඉතින් ෆෝන් එක ඉනේ ගහගෙන හිටියනම් හොඳා , මොකද ගෙදර ඉන්න හින්දා කොයි වෙලේ හරි නොම්බරේ එඹෙන්නට ඉඩ තියනවා.

පොඩි වුන් එනවා කියනෙකනන් අහන්නත් සංතෝශයි , විද්‍යා ටීචර්ගෙ ආදරයයි , සැලකිල්ලයි අරන් නසරාණි වුන් ටික කොහොම හරි ලකුණු වැඩිපුර ගත්ත හින්දා. අර මාතර ගමන නම් හොඳයි. කවුද දන්නේ වොට්සනුත් කොහෙන් හරි මතුවෙයි ද කියලා. ඇහැක් වුනොත් උඹටයි පොඩිවුන්ටයි මම අයිස් ක්‍රීම් එවන්නම්.

අනික උඹලැයි ගෙදර මායිමේ දී පරිසරය ගැන උන්ට කියා දෙනව නම් හොඳයි. පොලිතීන් භාවිත නොකර , ඒවා පරිසරයට විසි නොකර ඉන්න කියලා. ඒ එක්කම උන්ට ආදරය කරන්න, පුංචි කාලේ ඉදන්ම අපි වට පිටාවේ ඉන්න අයට ආදරය කරන්න , ගරු කරන්න උගන්නපන්. හැමෝටම සුරතලෙක් ඉන්නව නම් උන්ට පුලුවන් සතුන්ගෙ හැඟීම් තේරුම් ගන්න. එතකොට ආදරයත් ඒ එක්කම තේරුම් යාවි.

මන් ඉතින් යකඩ ගොඩවල් වලට විතරක් නෙමෙයි ආදරේ.
අර අඹෙ අලුත් ප්‍රොපයිල් පික්චර් එක නම් මරු. ඒක කොහේ හංගන් හිටිය ද මන්දා. හැමදාම කිවුව වගේ කළු දොදාල් රසයි නෙ. උඹ ලස්සනයි කීවට විශ්වාස කරේ නෑනේ. ඔය ෆේස් බුක් සඟයො හැමෝම කියල තියෙන්නෙ සහ සුද්දෙන්ම.

මන් ඉතින් කම්මලට ගියාම හෙට ආයෙත් උඹේ කටහඬ අහන්නම්. එතකම් ඉතින් ඉවසන් ඉමු. මේ දවස් හෝම්ස්ටත් නිවාඩු කීවා. ඒ හින්දා පරීක්ෂණ කටයුතු නැහැ. හොඳටම හිත නිදහස්. උඹේ නිවාඩු කාලය හොඳින් ඉවර වේවි. කාමරේ තීන්ත ගාන ප්‍රොජෙක්ට් එකට හවුල් වෙන්න ආසාවක් තියනවා. අනික අර රජමහා විහාරයේ ඉතිහාසගත සිද්ධි ගැන පරීක්ෂණයකුත් තියනව කරන්න. මේ ඔක්කම කරන්නත් හිතාගෙන , මේරි බලන්න එන්නම්. 

සුන්දර වූ හිතක් තියන උඹට ආදරය කරන්න ලැබීමත් වාසනාවක් කියලයි මට හිතෙන්නේ. ඒක ඉතින් උඹට තේරෙනව නේ. ඒ වගේම ඒ හිතත් එක්ක ගනුදෙනු කරන එක හරිම හැඟීම්බරයි. මට යකඩ ගොඩින් මෑත් වෙලා ආපහු ලියන්න උනත් හිතුනෙ ඒකයි නේ. 

ඉතින් මේරි මන් සමුගන්නම් තාවකාලිකව. ඉක්මනින් හමුවෙමු. පරිස්සමින්. 

මේ
ඔබේ ආදරණීය
වොට්සන්

03.ආදරණීය වොට්සන් - පාළු සති අන්තය


ආදරණීය වොට්සන්

------------------------------

මේ දීර්ඝ සති අන්තය තරම් පාළුව දැනුන වෙනත් දවසක් නැති තරම්. සුපුරුදු යකඩ අශ්වය පිටේ නැගල සති අන්තයේ ගෙදර ගියපු වොට්සන්ට මාව බලන්න , මාව අහන්න වෙලාවක් නෑ කියල මම දන්නවා. 

පාළුව දෙගුණ වෙන්නේ මේ පාසල් නිවාඩු කාලය නිසා. ඒකට හේතුව ඔබ හොඳටම දන්නව ඇති. මොන විදිහෙ සිත් තැවුලක් මා තුල තිබුනත් ඉස්කෝලෙ ගිහින් පළවෙනි පිරීයඩ් එකේ මුල් විනාඩි පහ යද්දි සිත්තැවුල් තිබුනද කියලවත් හොයා ගන්න බැරි වෙන්නේ මගේ ගෝලයන්ගේ තියන දක්ෂකම නිසාමයි. 

ඒ වගේම සතියෙ වැඩ කරන දවස් කොච්චර කාර්ය බහුල වුනත් ඒ කාර්ය බහුලම වෙලාවල් වලදිත් යකඩ ගොඩෙන් පොඩ්ඩක් මෑත් වෙච්චි ගමන් මගේ අංකය අමතන්න ඔයා අමතක කරන්නෙ නෑ. 

ඒත් මේ සති අන්තයත් , පාසල් නිවාඩුවත් අරන් එන නිහඬ බව දරන්න හරි අමාරුයි. ඒ වෙලාවට මට හිතෙනවා ඉස්කෝලෙ ළමයින්ට අපේ ගෙදරට එන්න කියන්න. කීවත් වගේ උන් ටික නම වෙනිදට මාව බලන්න එනව කියල කෙටි පණිවිඩයක් එවල තිබ්බා. මම ඒ සැරේ දැන් දහඅතේ කල්පනා කරන්නේ කොහොම ද උන්ට සලකන්නේ , මොනාද උන්ට අරන් දෙන්නෙ කියලා. 

ඉතින් වොට්සන් මෙය කියවන්න ඔබට ඉඩ ලැබුනොත් උන්ට දෙන්න පුළුවන් යමක් ගැන මට යෝජනාවක් එවන්න අමතක කරන්නෙපා. දීර්ඝ සති අන්තය සතුටින් ගත කරන්න ඔබට හැකි වේවා කියල පතමින් මම ඔබට සමුදෙන්නම්.
මේ
ඔබේ ආදරණිය මේරි

02. ආදරණිය මේරි - යකඩ අශ්වයා

ආදරණිය මේරි


උඹ එහෙන් පිටත් වෙනකොටම මං හිටියෙ දෙගිඩියාවක. මේරි මට තනියෙන් හමුවෙයිද, අනික මේ අන්ඩර කොලු කෙලි නඩයයි, හැම මුල්ලකම වැලි ඇට හොයන උඹේ රස්සා සගයො ටිකයි මගෑරලා වහං වෙන්නෙ කොහොමද.
අනික ඉතින් මං තනියෙන් හිතුවට උඹ අස්සය පිටේ දාං යන්න අර කලින් දවසෙ වගෙ මාව මෙතනින් දාල යන්න කිව්වොත් කියල හිතුන තමයි.

මොකක් උනත් කලින් දවසෙ සන්තකේට තිබුන එකෙන් ඩීසල් ගැහුවෙ ඕන කජ්ජක් කියල. ආවුද ටිකත් දා ගත්තෙ හදිසියක් උනොත් මේරිත් එක්ක පාරෙ ලගින්නයැ.

මොනා උනත් උඔ නුවරින් නැග්ගට පස්සෙත් මට හරි හිතක් තිබුනෙ නෑ කොහෙ යන්නද කියල. ඒත් එක පාර මතක් උනේ මයියංගනේ ගියානං මොකද කියලයි.

මාලිගාව ලඟින් උඹව දාගත්තට මේ යකඩ ගොඩත් එක්ක යූ ටර්න් ගහන්න පුළුවනෑ, එතකොටයි ඔළුවට ආවෙ යකඩෝ අම්පිටියෙන් ගුරුදෙනියට දාල රජ මාවතේ ගියානං නිකං වචන වලිං කියන්ඩ බැරි ලස්සනක් විඳගෙන ගියෑකි කියන එක.

රජ මාවතට දාන්ඩ කලිං පටු වංගු පාරෙ යනකොට උඹේ කට නැවතිලා තිබුනෙ නොකිව්වට මේ කොහෙ යනවද කියල අහනව වගෙ.

ඒත් රජ මාවතට දැම්මට පස්සෙ පපුව උඩ පාත යන වේගෙ වාහනේ වේගෙට වඩා අඩු උනා කියල නං තේරුනා මට.

කාලත් හිටියෙ නැති හිංද අර තරුණ අම්මගෙ කඩෙන් ගත්ත බනිස් දෙකයි, ඉස්පංචි දෙකයි අපේ බඩගිනින නිව්ව.

යන ගමන් ඉතිං කවුරුත් අහන්නැති මගේ පරන කතා අහන ගමං, මං හිනා වෙන බව දැන ගත්තෙ උඔ ඒක කිව්වමයි.

ඇත්තටම මුලින්ම වාහනෙ නැවැත්තුවෙ වංගු ටික කරකවලා අමාරුවට. ඒත් ඉතිං උඔගෙ කතා කරන ඇස් දැක්කම හාදුවක් නොදී කොහොමද ඒවට. ඒක ඉතින් මූණ පුරා දුවල නැවතුනෙ .

ලොග්ගල් ඔය බන්ට් එක මං ආසම තැනක්, එක පැත්තක වැවයි, කඳු යායයි,ඒ එක්කම උඹේ ලේයර් කපපු කෙස් ටික හරියට වැවට උඩින් දඟලපු වලාකුල් වගේ. ඒත් ඉතිං උඔ දිහා බලං මේක කරකවන්න ගියෝතිං දෙන්නම නවතින්නෙ වතුරෙ හන්ද ඒ ආසාව හැංගුව. මොකද ලෑන්ඩ්රෝවර් එලෙව්වට පීනන්ඩ ඇහැකියැ.

මං හිතන්නෙ උඔ හීල්ලුවෙ මහියන්ගනයට කිමි 12 බෝඩ් එක දැක්කම නේද?

උඔගෙ නඩේ තාමත් දිගන කියල දැනගත්තම ආය ඉතින් පාරෙ දාල එන්නයැ. මේ වෙනකොට මං මොකක්ද කියන්නෙ ඒක උඹ විශ්වාස කරන බව මං දැනං හිටිය.
ඉතින් කට්ටිය හම්බෙනකං නගිමු කිව්වම උඔ එක පයිං හිටියෙ ඒකනෙ.

අන්තිමට දහ අටත් නැගල හුන්නස්ගිරියෙ නැවතුනෙ මහන්සියට වඩා ආය කවද හම්බෙයිද දන්නැති හන්ද.
මොනා උනත් උඹේ දොළදුක සම්පූර්ණ උන එකට මටත් සන්තෝසයි.

ඒ අතරේ ගමන රොමැන්ටික් කරාටත් ඉස්තූති, ආයෙත් යං තව එකක්, මේ පරීක්ෂණ වැඩ ඇති වෙලා ඉන්නෙ දැං. නැවත හමුවෙන තුරු පරිස්සමිං.

මේ
ඔබේ ආදරණිය වොට්සන්

01.ආදරණිය වොට්සන් - ලෑන්ඩ් රෝවරේ සවාරිය


ආදරණීය වොට්සන්

---------------------------

කාලෙකට පස්සෙ ,ඔයත් එක්ක ජිප්පෙකේ ගියපු ඒ අපූරු ගමන මට විස්තර කරන්න වචන නැහැ.ජීවිතේ අමතක නොවන ලස්සන දේවල් තියෙන්නෙ කිසිම ප්ලෑනක් නැති දේවල් වල කියල වැඩියෙනුත් එක්ක ඔප්පු වෙච්චි සුන්දර ගමනක් ඒක. ඔබ කරපු ඒ යෝජනාව පිළිගන්නත් , ප්‍රතික්ෂේප කරන්නත් බලය තිබ්බෙ මට නිසා ඕනිම වෙලාවක ඒ ගමන නොගිහින් ඉන්න ඕනෑවටත් වඩා ඉඩකඩක් මට තිබ්බා. ඒත් ජීවිතේ දී වැඩිපුර මුරණ්ඩු , අසංවිධානාත්මක තීරණ අරන් නොතිබ්බ මට ඒ දඩබ්බර තීරණය ගන්නෙක ලේසි වුනේ නම් නෑ.
අංක ගණන් කර කර , කම්මැලි දහ අට වංගුවේ උඩට යනව ද , පාළු වුනත් සතුට පිරුණු රජ මාවතේ රජෙක් එක්ක අශ්වය පිටේ යනව ද කියල තීරණය වුනාට ඒ පාරක අතරමන් වුනොත් මට මොනා වෙයිද කියල දිගින් දිගට හිතලා, නොවෙන්න ඉඩ තිබ්බ ඛේදවාචකයකින් සිතුවිල්ල නිම කරන පුරුද්ද ඒ වෙද්දි මම නතර කරල තිබ්බා.
නුවරින් පටන් අරන් අම්පිටිය , හැරගම, මයිලපිටිය , රන්දෙණීගල හරහා මහියංගනයට ඇවිත් , ආපහු දහ අට වංගුවෙන් නැගල හුන්නස්ගිරියට ගියපු ඒ ගමන සැබෑම උන්මාදයක්.
වැඩිපුර වාහන නොගිය , අඩුපුරම මිනිසුන් හිටිය ඒ පාළු පාරවල් වල ලස්සන වැඩි වුනේ ඔයා මගේ ළඟම දකුණු අත පැත්තෙන් හිටපු නිසා. 
විටෙන් විටේ මගෙ දිහා බලමින්, අරහෙන් මෙහෙන් දුවන පාරවල් නතර වෙන නගරවල් ගැන කිය කිය , ඒ පාරේ අහුවෙන මහ ගස් , හුළඟට ඇඹරිලා ගියපු කුරු ගස් ගැන බැදුනු ආදරේ ගැන කිය කිය ඒ අතරට අඩු වැඩි ය විදිහට අතීතයේ සැඟවුනු තැන් මතක් කර කර ගියපු ඒ ගමන වඩාත් රොමෑන්ටික් වුනේ පාළු පාරේ පාලුම තැනක , දෙකක නතර වෙද්දි මට ලැබුනඔයාගේ ආදරබර හාදු නිසා කියල නම් නොකියාම බෑ.
නිතර නිතර දකින්නට නොලැබෙන ඔයාගේ අර සුන්දර සිනාව දකින්නත් , කණ්නාඩියට යටින් තියන ඇස් වල හැඟීම් කියවන්නත් මට පුළුවන් වුනේ ඔයාගේ වම් අත පැත්තෙන් , නමුත් ඔයාට ටිකක් දුරින් යන්න මට ඉඩ ලැබුන නිසා.
ගමන ගිහින් ආවට මොකද , ගෙදරට පය තිබ්බ ගමන් මට දැන ගන්න ඕනි වුනේ අපි ආපහු ඒ වගේ ගමනක් යන්නේ කවදද කියලයි.
ඉතින් ආදරණිය වොට්සන්.... මේ සංකීර්ණ අභිරහස් ජීවිත අතරේ , ජීවිතේ දැනෙන රසබර හැඟීම් විඳගන්න මේ වගේ පිස්සු ගමනක් මාව එක්කරන් ගියාට ඔයාටත් ඔයාගේ අශ්වයා වෙච්චි “ලෑන්ඩ්රෝවරයටත් “ බොහොම කෘතඥ වෙනවා.
තව කියන්න දේවල් ගොඩක් තිබ්බත් ඔබේ ආදරෙත් අරන් මම නිදාගන්නට යනවා. ඔබට සුබ රැයක්.
මම
ඔබේ ආදරණිය 
මේරි