Saturday, September 23, 2017

18. ආදරණිය වොට්සන් - ආදරයේ තිළිණ



ආදරණීය වොට්සන්
----------------------
මම එනකම් ස්ටේශමේ යකඩ බන්කුවට වෙලා කම්මැලි නැතිව පැය බාගයකට ආසන්න කාලයක් බලා ඉන්න සිද්ධ වුනාට ඉස්සෙල්ලම සමාවෙන්න කියල කියනවා. මාත් එක්ක යකඩ බංකුවෙ වාඩි වෙලා ඒ කතා කරපු , හිනා වුනු , ඔහේ බලා හිටපු කාලයට ත් , ස්නායු අග්ගිස්සෙ පිපෙන්න ගිහින් පොහොට්ටු වෙන්න සිද්ධ වුනු මල් වලටටත් , ඒ හැමදේටම වඩා මා වෙනුවෙන් ගෙනාපු මේ ලස්සන තෑග්ගටත් ඔයාට ගොඩක් ස්තූති.කම්මලට බොරු කියල මා බලන්න ඇවිත් , පොත් ප්‍රදර්ශනය ගේට්ටුව ගාවින් මාව ඇරලවල යන්න තරම් කාරුණික වුනු හදවතටත් ආපහු දවසක හමුවෙනකම් සුවඳ මතකයක් වෙන්න දීපු “කමීසයේ“ සුවඳ අතුරුදහන් වෙන්න කලින් නැවත හමු වේවා කියල පතනවා. 
ආදරය කරන්න තහනම් වෙච්චි , දෙන්නෙක් තනි වුනාම ගෙදරට පැරල අරන් පලච්චි රටක , ඔය කම්මුලට හාද්දක් දෙන්නවත් බැරි වෛච්චි එක ගැන නම් මට තාමත් දුකයි.... කම්මලේ වැඩ වලින් නිදහස් වෙලා හිත සැනසිල්ලේ හමුවෙන්න , ඔයාගේ යකඩ අශ්වයත් අරන් එන දවසක් ඉක්මනින්ම උදා වේවා කියල පතමින් නවතින මම, 

ඔබේ ආදරණීය 
මේරි 

පසු සටහන,- 


අයිති නොවී , අයිතිකර නොගෙන ආදරේ කරන්න කොච්චර අමාරු ද කියල මම දන්නවා.හරි අවබෝධය නැති උනාම මේ වගේ සම්බන්ධකම් වලට අයිති වෙන්නේ එක්කො බරපතල තත්ත්වයේ විරහවක් , නැතිනම් ඒක පාර්ශ්වික වෙන්වීමක් , එහමෙත් නැතිනම් නොමැකී යන වෛරයක් , ඇතැම් විට සියදිවි නසා ගැනීමක් හෝ මිනීමැරුමක්. 
අත්හැරීමෙන් පටන් අරන් ආදරය කරද්දි ආදරයේ දී මූණපාන්නට වෙන ගොඩක් ගැටළු අඩු වෙනවා කියල මට හිතෙනවා. 
ඉතින් වොට්සන් , මගේ නපුරුකම් ඉවසමින් මේ තරම් ආදරයක් දෙනවට හැමදාමත් මම ඔබට ණයගැතියි............

Friday, September 22, 2017

17. ආදරණිය මේරි - නිවාඩු කාලේ ලැබුන ලියුම්

ආදරණීය මේරි,

උඹේ විස්තර ලැබුනා. ස්තුති. මං ඉතිං වැඩ අස්සෙම හොඳට විවේකයක් ගත්තා තණ නිල්ලෙ. ආස්යන්තරා හිටන් දැක්කා බං. වලාකුල් නටන හැටි, හඳ පායන්ඩ ඉඩ හදාගෙන ඉර නැතිවෙන හැටි; ඔක්කොම.
කකුල නං රිදේ තාම, ඒක පැසවලා තියේ. අද බෙහෙත් ගන්න ඕනි. 
ඉතිං උඹේ ඇවිදීම නං හොඳා. ඔහොම හැමෝ එක්කම ඉඳලා චන්දෙ ඉල්ලන්න වත් බැරිය.
ඒ හිංදා ගමේ ඇවිදලා ප්‍රශ්න හොයාගෙන, උත්තරත් හොයාගෙන ගියොත් Land Rover නෙවෙයි Range Rover එකක් ගන්න බැරිය.
BMI ගැන හිතන් නැතුව ඇවිදපන්. එක දිගට අඩු ගානෙ පැයක් වත්. එතකොට ඒ ප්‍රමානෙ ඇති. ටිකෙන් ටික වේ ගෙ වැඩි කර ගත්තම ඉබේම හරියයි.
උඹ ගමේ ඈයො එක්ක වොට්සන් ගෙ විස්තර කියන්නෙ නෑ නේද. එහෙම උනොත් මට පරීක්ෂණ වැඩිවෙයි. ඒත් ඉතිං නොමිලේ නවාතැන් දෙනව නං එන්නම්. ආය ඉතිං මොකද උඔ හම්බෙනව නං. මටත් බැරියැ වෙල මැද්දෑවෙ පාරෙන් ඇවිදන් යන්න. ගමටම පේන්න.
අතිං අල්ලගෙන යනවද එතකොට වත් මැණික.
ඉතිං ආයෙත් උඹව බලන්න වෙන්නෙ සඳුද තමා. ඉරිදත් තව පරීක්ෂණ වගයක් තියේ කොළඹ පැත්තෙ, හෙට නම් උඹ විභාග වැඩනෙ. පරිස්සමින් හිටපන් පණ.
ආයෙත් ලියන තුරා නවතිමි.
මේ උඹේ කරදර කාර වොට්සන් මයැ.

16.ආදරණිය වොට්සන් - පොත් සහ වොට්සන්




කාලෙකට පස්සේ ඔයාට ලියන්නේ , පහු ගිය ටිකේ මම ටිකක් කාර්ය බහුල වුනා. සති දෙකක් එක දිගට , දවල් කෑම පැය බාගය ඇරුනාම උදේ ඉදන් හවස් වෙනකම් පැය 9ක් ලෑලි පුටුවක වාඩි වෙලා බෙල්ල නමාන රතු පෑනෙන් හරි වැරදි දාලම මගේ ලස්සන පස්ස දැන් ලෑල්ලක් බවට පත් වෙලා. බෙල්ල දිගෑර ගන්න බැරි වෙලා. ඇගිලි ටික පෑන අල්ල ගත්ත විදිහටම තියනවා. එහෙම ගෙවිච්චි සති දෙකකට පස්සෙ ඊයේ ඉදල ආපහු මට ඉස්කෝලෙ යන්න පුලුවන් වුනා. 

මගේ හිතට සහනයක් ගේන දේවල් අතරින් උඩින්ම ඉන්නේ ඔයාගේ අර නල දත් හිනාව , දෙකට මගෙ ඉස්කෝල රස්සාව , තුනට අර මගෙ භූත ෂැඩෝ ...... ඔය දේවල්නැතිව නම් ජීවතේ සැනසිල්ලක් ගැන හිතන්න මට අමාරුයි වොට්සන්.

ඔයා කම්මලේ දඩි බිඩි සද්ද අස්සෙත් , හීනියට සිංදුවක් අහනවා කියල මම දන්නවා.ඒ වගේ හිතක් තියන ඔයාට මම නැති පාළුව දැනෙන් ඇති කියල දන්නවා.ඔයාගේ පරීක්ෂණ වැඩ දැන් බොහෝ දුරට හමාරයි කියල දවසක් උත්තර පත්‍ර පරීක්ශණයකට ඇවිත් හිටිය හෝම්ස් මහත්මයා මට කීවා. ඒ කතාව ඇත්ත නම් අපි දෙන්නට බැරි වෙන එකක් නෑ පොත් ප්‍රදර්ශනය පැත්තෙ යන්න . එහෙම නේද වොට්සන්

ඔයාගේ අසනීප තත්ත්වෙ දැන් කොහොම ද? මම හිතන්නෙ දැන් ඒ අසනීප හොඳ ඇති කියලා. මොන අසනීප තිබ්බත් , අපි කාලෙකට පස්සෙ හමුවෙන දවසට ඔයාගේ උණුසුම් හාදුවක් නොදී නම් යන්න දෙන්නෙ නෑ මේ මේරි.......

හදිසියේම ඔයාට ලියන්න මට මතක් කලේ අපේ ඉස්කෝලෙ චිත්‍ර සර්.එයා මේ බ්ලොග් එක නිතර කියවනවා. කලකින් මොකද වොට්සන් නොලීවෙ කියල අද උදේම එයා මගෙන් ඇහුවා. අන්න එතකොටයි අනේ මට ආපහු ඔයාට ලියන්න මතක් වුනේ.

එහෙනම් ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට නවතිනවා. ඔයා මට එවපු ,නමුත් තාමත් නොකඩා තියන ලියුම් දෙකක් කියවන්නත් තියනවා..... ඒවා ඉක්මනින්ම පල කරන පොරොන්දුව පිට සමුගන්න මම
මේරි......