Wednesday, August 16, 2017

11. ආදරණිය වොට්සන් - නිල් තණ බිස්ස




ඔයා ගෙ අද දවස පරීක්ෂණ කටයුතු වලටම කාර්ය බහුල වෙලා කියල මම දන්නවා. කම්මලේ කරපු පරීක්ෂණ කටයුතු එළිමහනට ගෙනියන දවස අද නේද.


පරීක්ෂණ කටයුතු කරන්න ගිහිල්ල අතරින් පතර නිදහස් වෙලාවට මට පින්තූර එවන්න තරම් ඔබට මාව මතක් කරපු ඔබගේ කාරුණික හදවත ට මම ණය ගැතියි.

එයිනුත්, අඟල් තුන හතරක් ඝනට වැඩුනු තණ බිස්සක වැතිරිලා අහස දිහා බලන් ඉන්න ඔබේ පින්තූරය නම් හරිම අපූරුයි. ඒ පින්තූරය දැකල මට මතක් වුනේ "UP" චිත්‍රපටයෙ මම ඔය උඩ එල්ලල තියන පින්තූරය තියන අවස්ථාව.

අනිත් කාරණය තමා කොච්චර වයසින් එහාට ගියත් ඔබේ සමහර හැසිරීම් මට සිහිගන්වන්නෙ අතීතයේ හිටපු ප්‍රීතිමත් කුඩා කොල්ලෙක් වීම. කොහොම නමුත් ඒ තණ බිස්සෙ ඔබේ ළඟින්ම හාන්සි වෙන්න මට ඉඩක් නැති වුනත් , ඒ “මොහොත“ විඳින ඔබව දැකල මගෙ හිතට දැනුනෙ සතුටක්.

හැබැයි ඔබ එවපු අනිත් පින්තූරය දැකල නම් මගේ හිතට දැනුනෙ දුකක්. කම්මලේ පරීක්ශන වලින් පස්සෙ එළිමහනට අරන් ගියපු ඒ පරීක්ෂණ සවි කරන තැන තිබ්බ ලස්සන දිය පාරේ ගහගෙන එන ඒ කුණු ගොඩ දැකල මිනිස්සු ගැන දැනුනෙ අප්‍රසාදයක්.

ඒත් මට අහන්න බැරි වුනා ඔයා සහ ඔයාගේ පරීක්ෂන කමිටුවේ පිරිස ඒ ගහගෙන ආපු කුණු ගොඩවල් පෙරල අරන් ඒවට මොකද කරන්නෙ කියලා. නගර සභාවත් එයාල එකතු කරන ඒ කුණු ගොඩවල් ඇයි කෙලින්ම ගඟට දාන්නෙ ? මේවා ගැන ඇයි පරිසරවේදියො නිහඬ .

කාර්ය බහුල වෙලාව ක ඔයා වගේ බැරෑරුම් තනතුරක් දරන කෙනෙක් , තණ පිස්සක වැතිරිලා සුවය විඳින්න මොහොතක්සොයා ගන්න තරම් සිතක් තියන කෙනෙක් වෙච්චි ඔයාට ගඟේ ගහගෙන එන කුණු ගොඩ දැකල දැනුන හැඟීම ගැන මට තේරුම් ගන්න පුළුවන්.

අද නම් ඉතින් කම්මලෙන් පිට වැඩ නිසා ගෙදර එද්දි රෑ බෝ වේවී කියල මම දන්නවා. ගෙදර ආපු ගමන් මගේ මේ ලියුම කියවන ඔයාගේ මහන්සිය තුරන් වෙලා ගිහින් හිත සැහැල්ලු වෙලා , ඔයාගේ දකුණු පැත්තෙ නල දත පේන අර සුන්දර දුරලභ ඝනයෙ හිනාව මතු වෙන්න කියලා පතමින්

අදට සමුගන්න මම,

ඔයාගේ ආදර
මේරි

No comments:

Post a Comment