Thursday, August 10, 2017

03.ආදරණීය වොට්සන් - පාළු සති අන්තය


ආදරණීය වොට්සන්

------------------------------

මේ දීර්ඝ සති අන්තය තරම් පාළුව දැනුන වෙනත් දවසක් නැති තරම්. සුපුරුදු යකඩ අශ්වය පිටේ නැගල සති අන්තයේ ගෙදර ගියපු වොට්සන්ට මාව බලන්න , මාව අහන්න වෙලාවක් නෑ කියල මම දන්නවා. 

පාළුව දෙගුණ වෙන්නේ මේ පාසල් නිවාඩු කාලය නිසා. ඒකට හේතුව ඔබ හොඳටම දන්නව ඇති. මොන විදිහෙ සිත් තැවුලක් මා තුල තිබුනත් ඉස්කෝලෙ ගිහින් පළවෙනි පිරීයඩ් එකේ මුල් විනාඩි පහ යද්දි සිත්තැවුල් තිබුනද කියලවත් හොයා ගන්න බැරි වෙන්නේ මගේ ගෝලයන්ගේ තියන දක්ෂකම නිසාමයි. 

ඒ වගේම සතියෙ වැඩ කරන දවස් කොච්චර කාර්ය බහුල වුනත් ඒ කාර්ය බහුලම වෙලාවල් වලදිත් යකඩ ගොඩෙන් පොඩ්ඩක් මෑත් වෙච්චි ගමන් මගේ අංකය අමතන්න ඔයා අමතක කරන්නෙ නෑ. 

ඒත් මේ සති අන්තයත් , පාසල් නිවාඩුවත් අරන් එන නිහඬ බව දරන්න හරි අමාරුයි. ඒ වෙලාවට මට හිතෙනවා ඉස්කෝලෙ ළමයින්ට අපේ ගෙදරට එන්න කියන්න. කීවත් වගේ උන් ටික නම වෙනිදට මාව බලන්න එනව කියල කෙටි පණිවිඩයක් එවල තිබ්බා. මම ඒ සැරේ දැන් දහඅතේ කල්පනා කරන්නේ කොහොම ද උන්ට සලකන්නේ , මොනාද උන්ට අරන් දෙන්නෙ කියලා. 

ඉතින් වොට්සන් මෙය කියවන්න ඔබට ඉඩ ලැබුනොත් උන්ට දෙන්න පුළුවන් යමක් ගැන මට යෝජනාවක් එවන්න අමතක කරන්නෙපා. දීර්ඝ සති අන්තය සතුටින් ගත කරන්න ඔබට හැකි වේවා කියල පතමින් මම ඔබට සමුදෙන්නම්.
මේ
ඔබේ ආදරණිය මේරි

1 comment: