ආදරණීය වොට්සන්
---------------------------
කාලෙකට පස්සෙ ,ඔයත් එක්ක ජිප්පෙකේ ගියපු ඒ අපූරු ගමන මට විස්තර කරන්න වචන නැහැ.ජීවිතේ අමතක නොවන ලස්සන දේවල් තියෙන්නෙ කිසිම ප්ලෑනක් නැති දේවල් වල කියල වැඩියෙනුත් එක්ක ඔප්පු වෙච්චි සුන්දර ගමනක් ඒක. ඔබ කරපු ඒ යෝජනාව පිළිගන්නත් , ප්රතික්ෂේප කරන්නත් බලය තිබ්බෙ මට නිසා ඕනිම වෙලාවක ඒ ගමන නොගිහින් ඉන්න ඕනෑවටත් වඩා ඉඩකඩක් මට තිබ්බා. ඒත් ජීවිතේ දී වැඩිපුර මුරණ්ඩු , අසංවිධානාත්මක තීරණ අරන් නොතිබ්බ මට ඒ දඩබ්බර තීරණය ගන්නෙක ලේසි වුනේ නම් නෑ.
අංක ගණන් කර කර , කම්මැලි දහ අට වංගුවේ උඩට යනව ද , පාළු වුනත් සතුට පිරුණු රජ මාවතේ රජෙක් එක්ක අශ්වය පිටේ යනව ද කියල තීරණය වුනාට ඒ පාරක අතරමන් වුනොත් මට මොනා වෙයිද කියල දිගින් දිගට හිතලා, නොවෙන්න ඉඩ තිබ්බ ඛේදවාචකයකින් සිතුවිල්ල නිම කරන පුරුද්ද ඒ වෙද්දි මම නතර කරල තිබ්බා.
නුවරින් පටන් අරන් අම්පිටිය , හැරගම, මයිලපිටිය , රන්දෙණීගල හරහා මහියංගනයට ඇවිත් , ආපහු දහ අට වංගුවෙන් නැගල හුන්නස්ගිරියට ගියපු ඒ ගමන සැබෑම උන්මාදයක්.
වැඩිපුර වාහන නොගිය , අඩුපුරම මිනිසුන් හිටිය ඒ පාළු පාරවල් වල ලස්සන වැඩි වුනේ ඔයා මගේ ළඟම දකුණු අත පැත්තෙන් හිටපු නිසා.
විටෙන් විටේ මගෙ දිහා බලමින්, අරහෙන් මෙහෙන් දුවන පාරවල් නතර වෙන නගරවල් ගැන කිය කිය , ඒ පාරේ අහුවෙන මහ ගස් , හුළඟට ඇඹරිලා ගියපු කුරු ගස් ගැන බැදුනු ආදරේ ගැන කිය කිය ඒ අතරට අඩු වැඩි ය විදිහට අතීතයේ සැඟවුනු තැන් මතක් කර කර ගියපු ඒ ගමන වඩාත් රොමෑන්ටික් වුනේ පාළු පාරේ පාලුම තැනක , දෙකක නතර වෙද්දි මට ලැබුනඔයාගේ ආදරබර හාදු නිසා කියල නම් නොකියාම බෑ.
නිතර නිතර දකින්නට නොලැබෙන ඔයාගේ අර සුන්දර සිනාව දකින්නත් , කණ්නාඩියට යටින් තියන ඇස් වල හැඟීම් කියවන්නත් මට පුළුවන් වුනේ ඔයාගේ වම් අත පැත්තෙන් , නමුත් ඔයාට ටිකක් දුරින් යන්න මට ඉඩ ලැබුන නිසා.
ගමන ගිහින් ආවට මොකද , ගෙදරට පය තිබ්බ ගමන් මට දැන ගන්න ඕනි වුනේ අපි ආපහු ඒ වගේ ගමනක් යන්නේ කවදද කියලයි.
ඉතින් ආදරණිය වොට්සන්.... මේ සංකීර්ණ අභිරහස් ජීවිත අතරේ , ජීවිතේ දැනෙන රසබර හැඟීම් විඳගන්න මේ වගේ පිස්සු ගමනක් මාව එක්කරන් ගියාට ඔයාටත් ඔයාගේ අශ්වයා වෙච්චි “ලෑන්ඩ්රෝවරයටත් “ බොහොම කෘතඥ වෙනවා.
තව කියන්න දේවල් ගොඩක් තිබ්බත් ඔබේ ආදරෙත් අරන් මම නිදාගන්නට යනවා. ඔබට සුබ රැයක්.
මම
ඔබේ ආදරණිය
මේරි
අපේ ඇන්ටි කෙනෙක් ළගදි ලැන්ඩ් රෝවර් එකක ගියපු හැටි මතක් උනා.. චියර්ස්
ReplyDelete