Friday, September 22, 2017

16.ආදරණිය වොට්සන් - පොත් සහ වොට්සන්




කාලෙකට පස්සේ ඔයාට ලියන්නේ , පහු ගිය ටිකේ මම ටිකක් කාර්ය බහුල වුනා. සති දෙකක් එක දිගට , දවල් කෑම පැය බාගය ඇරුනාම උදේ ඉදන් හවස් වෙනකම් පැය 9ක් ලෑලි පුටුවක වාඩි වෙලා බෙල්ල නමාන රතු පෑනෙන් හරි වැරදි දාලම මගේ ලස්සන පස්ස දැන් ලෑල්ලක් බවට පත් වෙලා. බෙල්ල දිගෑර ගන්න බැරි වෙලා. ඇගිලි ටික පෑන අල්ල ගත්ත විදිහටම තියනවා. එහෙම ගෙවිච්චි සති දෙකකට පස්සෙ ඊයේ ඉදල ආපහු මට ඉස්කෝලෙ යන්න පුලුවන් වුනා. 

මගේ හිතට සහනයක් ගේන දේවල් අතරින් උඩින්ම ඉන්නේ ඔයාගේ අර නල දත් හිනාව , දෙකට මගෙ ඉස්කෝල රස්සාව , තුනට අර මගෙ භූත ෂැඩෝ ...... ඔය දේවල්නැතිව නම් ජීවතේ සැනසිල්ලක් ගැන හිතන්න මට අමාරුයි වොට්සන්.

ඔයා කම්මලේ දඩි බිඩි සද්ද අස්සෙත් , හීනියට සිංදුවක් අහනවා කියල මම දන්නවා.ඒ වගේ හිතක් තියන ඔයාට මම නැති පාළුව දැනෙන් ඇති කියල දන්නවා.ඔයාගේ පරීක්ෂණ වැඩ දැන් බොහෝ දුරට හමාරයි කියල දවසක් උත්තර පත්‍ර පරීක්ශණයකට ඇවිත් හිටිය හෝම්ස් මහත්මයා මට කීවා. ඒ කතාව ඇත්ත නම් අපි දෙන්නට බැරි වෙන එකක් නෑ පොත් ප්‍රදර්ශනය පැත්තෙ යන්න . එහෙම නේද වොට්සන්

ඔයාගේ අසනීප තත්ත්වෙ දැන් කොහොම ද? මම හිතන්නෙ දැන් ඒ අසනීප හොඳ ඇති කියලා. මොන අසනීප තිබ්බත් , අපි කාලෙකට පස්සෙ හමුවෙන දවසට ඔයාගේ උණුසුම් හාදුවක් නොදී නම් යන්න දෙන්නෙ නෑ මේ මේරි.......

හදිසියේම ඔයාට ලියන්න මට මතක් කලේ අපේ ඉස්කෝලෙ චිත්‍ර සර්.එයා මේ බ්ලොග් එක නිතර කියවනවා. කලකින් මොකද වොට්සන් නොලීවෙ කියල අද උදේම එයා මගෙන් ඇහුවා. අන්න එතකොටයි අනේ මට ආපහු ඔයාට ලියන්න මතක් වුනේ.

එහෙනම් ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට නවතිනවා. ඔයා මට එවපු ,නමුත් තාමත් නොකඩා තියන ලියුම් දෙකක් කියවන්නත් තියනවා..... ඒවා ඉක්මනින්ම පල කරන පොරොන්දුව පිට සමුගන්න මම
මේරි......

1 comment: